ප්‍රගීත් එක්නැලිගොඩ: ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයකුට නොතීසි

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ඔක්තෝබර් 9 බදාදා - 12:38 GMT
සන්ධ්‍යා එක්නැලිගොඩ සහ දරුවෝ අධිකරණය ඉදිරියේ

මෙම නඩුව පවරා තිබෙන්නේ ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා විසින්

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම පිණිස අධිකරණය ඉදිරියේ පෙනී සිටින්නැයි ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් පීඑම් රංජිත්ට හෝමාගම අධිකරණය නියෝග කළේය.

එක්නැලිගොඩ මාධ්‍යවේදියා අධිකරණය හමුවට ඉදිරිපත් කරන මෙන් ඔහුගේ බිරිඳ සන්ධ්‍යා විසින් ඉදිරිපත් කරනු ලැබ තිබෙන පෙත්සම් විභාගයට සම්බන්ධවයි, අධිකරණය එම නියෝගය කළේ.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා විසින් මීට ඉහතදී පාර්ලිමේන්තුවේදී මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු සපයමින් පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයා සඳහන් කොට තිබුනේ සන්නද්ධ කණ්ඩායමක් විසින් මාධ්‍යවේදියා පැහැර ගෙන ගොස් ඇති බවට තොරතුරු තිබෙන බවයි.

'දෙවියන් වහන්සේ පමණයි'

අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් ලේකම්වරයා අධිකරණයට කැඳවා ප්‍රශ්න කරන මෙන් පෙත්සම්කාර පාර්ශවයේ නීතිවේදීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් අධිකරණය, ලබන මස 13 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඔහුට නියෝග කළේය.

ප්‍රගීත් එක්නැලිගොඩ 2010 ජනවාරි මාසයේ සිට අතුරුදහන්ව සිටී.

ප්‍රංශයේ වෙසෙන මාධ්‍යවේදී මංජුල වෙඩිවර්ධන විසින් ඔහු ප්‍රංශයේදී තමාට හඳුන්වා දුන් බව පාලක සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු පසුගියදා ප්‍රකාශ කළේය.

එහෙත් අරුන්දික මන්ත්‍රීවරයා තමාට කිසි දිනක ප්‍රංශයේදී මුණ නොගැසුණු බව ඒ පිළිබඳව කළ විමසීමකදී මංජුල වෙඩිවර්ධන බීබීසී සංදේශයට පැවසීය.

එක්නැලිගොඩ මාධ්‍යවේදියා විදේශයක දේශපාලන රැකවරණ ලබා සිටින බවට තොරතුරු ඇතැයි, එවකට කැබිනට් මණ්ඩලයේ නීති උපදේශක පදවිය හෙබවූ වත්මන් අගවිනිසුරු මොහාන් පීරිස්, ඊට ඉහතදී ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරියේ ප්‍රකාශ කළේය.

ඒ සම්බන්ධයෙන් අධිකරණයට කැඳවා විමසීමක් කළ විටය මොහාන් පීරිස් කියා සිටියේ ප්‍රගීත් එක්නැලිගොඩ ඉන්නා තැනක් දන්නේ දෙවියන් වහන්සේ පමණක් බවයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.