පොදු රද මඬුලු සමුළුව කැනඩාව වර්ජනය කරන්නේ නෑ - ශර්මා

  • 9 ඔක්තෝබර් 2013
Kamalesh Sharma
ඕනෑම රටකින් සහභාගි වන දූත පිරිස තීරණය කිරීම 'අදාළ රටට අයත් කාර්යයක්'

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට කැනඩාවේ අගමැතිවරයා සහභාගි නොවන නමුත් කැනඩාවේ දූත පිරිසක් සහභාගි වන බව පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම්වරයාගේ ප්‍රකාශකයා පවසයි.

ඕනෑම රටකින් සහභාගි වන දූත පිරිස තීරණය කිරීම අදාළ රටට අයත් කාර්යයක් වන බවයි, සංදේශය කළ විමසීමකදී කමලේෂ් ශර්මාගේ ප්‍රකාශක රිචර්ඩ් උකු කියා සිටියේ.

නොවැම්බරයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත සමුළුවට සහභාගි නොවන බව කැනඩාවේ අගමැති ස්ටීවන් හාපර් සහ විදේශ අමාත්‍ය ජෝන් බෙයාර්ඩ් නිවේදනය කොට තිබේ.කැනඩාවේ දූත පිරිසට නායකත්වය දෙනු ලබන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින්.

පොදු රාජ්‍ය මණ්ඩලය යනු රටවල් පනස් තුනකින් සමන්විත කණ්ඩායමක් බව පවසන රිචර්ඩ් උකු, අදාළ රටවල් විසින් ගනු ලබන තීන්දුවලට පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කාර්යාලය ගරු කරන බවද බීබීසී සංදේශයට පැවසීය.

'කැනඩාව මුදල් දුන්නා'

මහ ලේකම් ශර්මා රාජපක්ෂ පරිපාලනයේ රූකඩයක් බවට පොදු රාජ්‍ය මණ්ඩලීය කටයුතු භාර කැනඩාවේ තානාපතිවරයා විසින් කරන ලද ප්‍රකාශය පිළිබඳව විමසූ අවස්ථාවේ මහ ලේකම්වරයාගේ ප්‍රකාශකයා කියා සිටියේ විවිධ පුද්ගලයන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් තමන් ප්‍රතිචාරය පළ නොකරන බවයි.

මහ ලේකම්වරයා ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ රූකඩයක් ලෙස විග්‍රහ කිරීම සාධාරණ යයි තමා නොසිතන බව පමණක් තමන්ට සඳහන් කළ හැකි බවද ඔහු කියා සිටියේය.

මේ අතර කොළඹදී මාධ්‍යවේදීන් හමුවූ පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික කොමිසමේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය මොහාන් කූල්, පොදු රාජ්‍ය මණ්ඩලයට දෙන ආධාර නතර කරන බවට කැනඩාව කරන ප්‍රකාශය විග්‍රහ කළේ දේශපාලන හේතු පදනම් කර ගෙන කරන ලද ප්‍රායෝගික නොවන ක්‍රියාවක් ලෙසින්.

එවැන්නක් කිසිවිටෙකත් සිදු නොවන බව තමන්ට ස්ථිර බව පවසන ඔහු, ඉදිරි වසර පහ සදහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන කැනඩාව හා අනිකුත් රජයන් මේ වන විටත් තීරණය කර අවසන් බවද සඳහන් කළේය.