ටීඑන්ඒ මැතිවරණ ප්‍රකාශණය පිළිබඳව විභාගයක්

  • 2 ඔක්තෝබර් 2013
TNA manifesto
දෙජාස මැතිවරණ ප්‍රකාශණය 'ව්‍යවස්ථා විරෝධී' බව පෙත්සම්කරුවෝ පවසති

දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මැතිවරණ ප්‍රකාශණය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වී තිබෙන පෙත්සම්වලට එරෙහි මූලික විරෝධතා සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

දෙජාස මැතිවරණ ප්‍රකාශණය තහනම් කරන්නැයි ඉල්ලමින් දේශප්‍රේමී භික්ෂු පෙරමුණ ඇතුළු බෞද්ධ සංවිධාන විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කරනු ලැබ තිබේ.

ඒ පිලිබඳ විභාගය ආරම්භ වූ අවස්ථාවේ කරුණු දැක්වූ දෙජාස වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීහු, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව මෙවැනි නඩුවක් පැවරිය හැක්කේ පිළිගත් දේශපාලන පක්ෂයකට එරෙහිව පමණක් බවයි.

'ව්‍යවස්ථාවට පටහැනියි'

දෙජාස යනු පිළිගත් දේශපාලන පක්ෂයක් නොව, පක්ෂ තුනක සන්ධානයක් බවට කරුණු දැක්වූ නීතිවේදීහු, අදාළ පෙත්සම් ප්‍රතික්ෂේප කරන මෙන් අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

එම මූලික විරෝධතා සටහන් කරගත් අගවිනිසුරු ප්‍රමුඛ ත්‍රි-පුද්ගල විනිසුරු මඬුල්ල ලබන 23 වැනිදා එම විරෝධතා සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමට තීරණය කළ බව දෙජාස වෙනුවෙන් පෙනී සිටි එම්ඒ සුමතිරන් මන්ත්‍රීවරයා බීබීසී සංදේශයට පැවසීය.

එහෙත් එම මූලික විරෝධතායන් සිය පෙත්සම දියාරු කිරීමේ අරමුණින් කරන ලද්දක් බවයි, දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ නායක බෙංගමුවේ නාලක හිමියන් සංදේශයට කියා සිටියේ.

"ඒ මැතිවරණ ප්‍රකාශණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි කියල අපිට විශ්වාසයි. ඒ නිසා තමයි අපි මේ නඩුව ඉදිරිඅප්ත් කළේ," යනුවෙන්ද උන් වහන්සේ සඳහන් කළහ.