පොදු රද මඬුලු රැස්වීමට 'නවී පිල්ලේට ආරාධනා කරන්න'

අවසාන යාවත්කාලීන කිරීම :  2013 සැප්තැම්බර් 27 සිකුරාදා - 10:28 GMT
AI & HRW

ශ්‍රී ලංකාවේ යුද අපරාධ පිලිබඳ විශ්වසනීය සාක්ෂි තිබෙන බව ජාත්‍යන්තර සංවිධාන පවසති

ශ්‍රී ලංකාවේ සිදු වූ බව පැවසෙන මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් නෑසු කන්ව සිටින බවට ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන පොදු රාජ්‍ය මණ්ඩලයට චෝදනා කරයි.

බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් හේතුවෙන් නොවැම්බරයේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අවස්ථාව ලබා නොදිය යුතු බවයි, ලන්ඩනය මූලස්ථාන කරගත් ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

මේ අතර අද නිවුයෝක් නුවර පැවැත්වෙන අමාත්‍ය රැස්වීමට මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරියට ආරාධනා කරන මෙන් හියුමන් රයිට්ස් වොච් සංවිධානය පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ඉල්ලීමක් කරයි.

'ලජ්ජා සහගත නිශ්ශබ්දතාවයක්'

මානව හිමිකම් මණ්ඩලයට නවී පිල්ලේ ඉදිරිපත් කළ වාර්තාවෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණය පිළිබඳව අවධානය පළ කිරීමෙන් වැලකීමට පොදු රාජ්‍ය මණ්ඩලයට හැකියාවක් නොමැති බවයි, ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන අවධාරණය කරන්නේ.

විශේෂයෙන්ම යුද්ධයේදී සිදු වූ බව පැවසෙන බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් විශ්වසනීය පරීක්ෂණ පවත්වා වැරදිකරුවන්ට දඬුවම් දීමට ශ්‍රී ලංකා ආණ්ඩුව අපොහොසත් වන්නේ නම්, ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමේ වගකීමෙන් බැහැර වීමට ජාත්‍යන්තර ප්‍රජාවට හැකියාවක් නැති බව මහ කොමසාරිස්වරිය සිය වාර්තාවේ සඳහන් කරයි.

එහෙත් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණය පිළිබඳව සාකච්ඡා කිරීම හිතා මතාම පැහැර හරිමින් සිටින බවට හියුමන් රයිට්ස් වොච් සංවිධානය පොදු රාජ්‍යය මණ්ඩලයට චෝදනා කරයි.

"ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණය පිළිබඳව පොදු රාජ්‍ය මණ්ඩලය සිය හිස වැල්ලේ සඟවා ගත යුතු නැති," බවයි, ආසියානු කලාපය භාර සංවිධානයේ අධ්‍යක්ෂ බර්ඩ් ඇඩම්ස් පවසන්නේ.

ආරක්ෂක හමුදා සහ දෙමළ කොටි සංවිධානය විසින් යුද අපරාධ සිදු කොට තිබෙන බවට විශ්වසනීය සාක්ෂි තිබෙන නමුත් ඒ පිළිබඳව "ලජ්ජා සහගත නිශ්ශබ්දතාවයක්" රකින බවයි, ආසියානු ශාන්තිකර කලාපය භාර ඇම්නස්ටි ජාත්‍යන්තරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා පොලී ට්‍රස්කොට් පවසන්නේ.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.