උතුරේ පරිපාලනය සමඟ සහයෝගයෙන් ක්‍රියා කරන්න - ඇමෙරිකාව

අවසාන යාවත්කාලීන කිරීම :  2013 සැප්තැම්බර් 24 අඟහරුවාදා - 11:32 GMT
US Dept of State

උතුරේ තේරී පත්වූ නව පරිපාලනයට සහයෝගය දීම ආණ්ඩුවේ වගකීම බව ඇමෙරිකාව පවසයි

උතුරු පළාත් සභාවට තේරී පත් වූ නව පරිපාලනය සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් ජාතීන් අතර සංහිඳියාව උදෙසා ගැනෙන උත්සාහයන් ශක්තිමත් කිරීමට මතුවී තිබෙන අවස්ථාව උපයෝගී කර ගන්නා මෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

සෙනසුරාදා පැවති උතුරු, මධ්‍යම සහ වයඹ පළාත් සභා මැතිවරණ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව, එම මැතිවරණ සාර්ථකව පැවැත්වීම පිළිබඳව සියලු ශ්‍රී ලංකා වාසීන්ට සිය සුභ පැතුම් පිරිනමා තිබේ.

උතුරු පළාත් සභා මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය ප්‍රබල ජයග්‍රහණයක් අත් කර ගත්තේය.

'නිල ඇඳුම් ඇඳගත් පුද්ගලයන්'

විශේෂයෙන්ම උතුරු පළාතේ ඓතිහාසික මැතිවරණය පිළිබඳව සඳහන් කරන එක්සත් ජනපදය, උතුරු පළාතේ ජනතාව දැන් සිය අභිලාෂයන් ප්‍රජාතන්ත්‍රවාදීව ප්‍රකාශ කොට තිබෙන බැවින් තේරී පත්වූ නව පරිපාලනයට සහයෝගය දීම ආණ්ඩුවේ වගකීම බව සඳහන් කරයි.

මැතිවරණය සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළකරමින් ඉරිදා නිවේදනයක් නිකුත් කළ කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය, විශේෂයෙන්ම මැතිවරණ සාමය තුල වාර්තා වූ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණ පවත්වා වැරදිකරුවන්ට දඬුවම් දීමේ අවශ්‍යතාවය අවධාරණය කොට තිබුණි.

'නිල ඇඳුම් ඇඳගත් පුද්ගලයන්' ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධවීම පිළිබඳව එක්සත් ජනපදය විශේෂ කනස්සල්ල පළ කොට තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදය යනු මැතිවරණ පැවැත්වීම පමණක් නොවන බව පවසන තානාපති කාර්යාලය, මැතිවරණ පැවැත්වීම මෙන්ම ශ්‍රී ලංකාවේ සෑම ජන කොටසකටම සාමයේ ප්‍රතිලාභ භුක්ති විඳීමේත්, ආත්මගරුත්වයෙන් යුතුව ජීවත්වීමේත් අවකාශ සලසා දීමේ වැදගත්කමද පෙන්වා දී තිබේ.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.