ජනමාධ්‍ය ස්වයං වාරණයක - පොදු රද මණ්ඩල නිරීක්ෂකයෝ

  • 24 සැප්තැම්බර් 2013
Commonwealth national flags
'මැතිවරණයට කලින් සහ මැතිවරණ දිනයේදී වැදගත් අන්තර්ජාල අඩවිවලට පිවිසීමට නොහැකිවිය'

ශ්‍රී ලංකාවේ පවතින වාතාවරණය හේතුවෙන් පළාත් සභා මැතිවරණය සම්බන්ධ ඇතැම් සංවේදී වාර්තා පල කිරීමේදී ජනමාධ්‍ය ස්වයං වාරණයක යෙදුනු හැඩක් දක්නට ලැබිනැයි පොදු රාජ්‍ය මණ්ඩලීය මැතිවරණ නිරීක්ෂකයෝ පවසති.

සෙනසුරාදා පැවැත්වුණු උතුරු, මධ්‍යම සහ වයඹ පළාත් සභා මැතිවරණයේ මූලික නිරීක්ෂණ පිළිබඳව වාර්තාවක් නිකුත් කරන කෙන්යාවේ හිටපු උප-ජනාධිපති ස්ටීවන් කලොන්සෝ මුස්යෝකාගේ ප්‍රධානත්වයෙන් යුත් පොදු රාජ්‍ය මණ්ඩලීය නිරීක්ෂකයන්, විශේෂයෙන්ම මැතිවරණ දිනය තුල ඇතැම් වැදගත් වෙබ් අඩවි අවහිර කොට තිබුණු බවද පවසයි.

'මැතිවරණයට කලින් සහ මැතිවරණ දිනයේදී වැදගත් අන්තර්ජාල අඩවිවලට සහ ඉලෙක්ට්‍රොනික මාධ්‍යවලට පිවිසීමට නොහැකි විය' යනුවෙන්ද නිවේදනයේ සඳහන් වේ.

කෙසේ නමුත් ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි ශ්‍රී ලංකාවාසීන්ගේ කැපවීම පිළිබඳව නිරීක්ෂකයෝ ප්‍රසාදය පළ කරති.

මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු කාර්ය මණ්ඩලය මැතිවරණ කටයුතු මෙහෙයවූ අන්දම ප්‍රශංසාවට ලක් කරන නිරීක්ෂකයන්, කෙසේ නමුත් දේශීය මැතිවරණ නිරීක්ෂකයන්ට ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට ඇතුළුවීමට අවසර නොලැබීම විවේචනය කොට තිබේ.

විශේෂයෙන්ම උතුරේ මැතිවරණ සමය තුල විශාල හමුදා පිරිසක් රඳවා සිටීම විශ්වසනීය මැතිවරණ ක්‍රියාදාමයකට ප්‍රබල බාධාවක් වූ බව පවසන පොදු රාජ්‍ය මණ්ඩලීය නිරීක්ෂක කණ්ඩායම, දෙමළ ජාතික සන්ධානයේ අපේක්ෂිකා ආනන්දි සසීහරන්ගේ නිවසට එල්ල වූ ප්‍රහාරය පිළිබඳවද ප්‍රබල අවධානය පළ කොට තිබේ.

ඉදිරි සිවු දින ඇතුලත සිය අවසාන වාර්තාව සකස්කොට එය පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම්වරයාට භාර දෙන බවත්, ඉන් අනතුරුව ඔහු විසින් එය ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට සහ පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල ආණ්ඩුවලටත් යොමු කරනු ඇති බවද මූලික වාර්තාවේ සඳහන්.