මැතිවරණයේදී හමුදා ක්‍රියාකලාපය ගැන සාක් නිරීක්ෂකයන්ගේ කණස්සල්ල

අවසාන යාවත්කාලීන කිරීම :  2013 සැප්තැම්බර් 23 සඳුදා - 17:37 GMT
Ananthi Sasiharan

විශේෂයෙන්ම ආනන්දි සසීහරන්ගේ නිවසට එල්ල වූ ප්‍රහාරය ගැන සාක් නිරීක්ෂකයන්ගේ කණසල්ල

උතුරු පළාත් සභා මැතිවරණයේදී ආරක්ෂක හමුදා ක්‍රියා කළ ආකාරය පිළිබඳව සාක් කලාපීය මැතිවරණ නිරීක්ෂකයෝ බරපතල කණස්සල්ල පළ කරති.

විශේෂයෙන්ම මැතිවරණයට දිනකට පෙරාතුව හමුදා භටයන් බවට සැක කෙරෙන පිරිසක් දෙමළ ජාතික සන්ධානයේ අපේක්ෂිකා ආනන්දි සසීහරන් ගේ නිවසට කඩා වැදී ඇයගේ ආධාරකරුවන්ට පහර දීම සිය ප්‍රබල අවධානය පළ වූ සිදුවීමක් බව නිරීක්ෂණ මණ්ඩලයේ ප්‍රධානී එන් ගෝපාලසාමි පැවසීය.

එමෙන්ම ආරක්ෂක හමුදාව සහ සහ ආණ්ඩුවේ සේවකයන් උතුරු පළාතේ ආණ්ඩු පක්ෂයේ මැතිවරණ පත්‍රිකා බෙදීම ඇතුළු ප්‍රචාරක කටයුතුවලට සම්බන්ධ වීම පිළිබඳව මාධ්‍යවල පළ වූ වාර්තා සම්බන්ධයෙන් ද තම අවධානය පළ වූ බවත් ඉන්දියාවේ හිටපු මැතිවරණ කොමසාරිස්වරයකු වන ගෝපාලසාමි කියා සිටියේය.

මේ සියලු තත්වයන් යටතේත් ඡන්දදායකයන් විශාල පිරිසක් සිය ඡන්දය භාවිතා කිරීම පිණිස ඡන්දපොළට පැමිණීම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ජනතා උනන්දුව හීන වී නැති බවට සාක්ෂියක් බව ද ඔහු පැවසීය.

'කොමසාරිස්ගේ බලතල වැඩිකරන්න'

සාක් කලාපීය මැතිවරණ නිරීක්ෂකයන් ශ්‍රී ලංකාවට පැමිණියේ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියගේ ආරාධනයෙන්.

මැතිවරණය හා සම්බන්ධ සියලු කටයුතු මෙහෙයවීමේ සම්පූර්ණ බලය මැතිවරණ කොමසාරිස්වරයාට පවරා දී තිබුනේ නම් හමුදාව සහ රජයේ සේවකයන් මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට යොදා ගැනීම අවම කිරීමට හෝ සම්පූර්ණයෙන්ම වැළැක්වීමට අවස්ථාව තිබුණු බව හිටපු ඉන්දීය මැතිවරණ කොමසාරිස්වරයාගේ මතයයි.

එබැවින් මැතිවරණ කොමසාරිස්වරයාගේ බලතල වැඩි කළ යුතු බව සාක් නිරීක්ෂණ කණ්ඩායමේ අදහස බවද කොළඹදී මාධ්‍යවේදීන් අමතමින් එන් ගෝපාලසාමි පැවසීය.

මැතිවරණ දිනයේදී උදයන් පුවත්පත හා සමාන පුවත්පතක් ප්‍රකාශයට පත්කරමින් ඡන්දායකයන් නොමඟ යැවීමේ උත්සාහයක් පිළිබඳවත් සිය බරපතල කනසල්ල පළ කරන සාක් කලාපීය නිරීක්ෂකයෝ, අදාළ ව්‍යාජ පුවත්පත පිළිබඳව රූපවාහිනී ආයතනයක් විශාල ප්‍රචාරයක් ලබා දුන් නමුත් එම ප්‍රචාරක ව්‍යාපාරය වැළැක්වීමට බලධාරීන් කිසිදු පියවරක් ගත බවක් තමන්ට වාර්තා වී නැති බවත් වැඩිදුරටත් කියා සිටියහ.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.