කිතුනු දේව මධ්‍යස්ථානයට පහර දීමේ නඩුවේ චෝදනා සංශෝධනය කිරීම ප්‍රතික්ෂේප කෙරේ.

  • 4 සැප්තැම්බර් 2013
courts

මාලබේ කල්වාරි කිතුනු දේව මධ්‍යස්ථානයට පහර දීමේ සිද්ධියට අදාළ නඩුව අද (බදාදා) විභාගයට ගත් අවස්ථාවේ දී කොළඹ මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න කියා සිටියේ චෝදනා ඉදිරිපත් කිරීම හෝ සංශෝධනය කිරීම නීතිපතිවරයාගේ කාර්යයක් වන බවයි.

2008 වසරේ මාලබේ කල්වාරි කිතුනු දේව මධ්‍යස්ථානයට පහර දීමේ සිද්ධියට බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු පිරිසට ආගමික නිදහස කඩ කිරීමේ චෝදනා නඩුවටඇතුල් කරන්නැයි අගතියට පත් පාර්ශවය විසින් කෙරුන ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරින.

සාක්ෂි ලබා දුන් නාලිනි හෙන්රිකස් කියා සිටියේ 2008 වසරේ ජුනි මස 6 වැනිදා උදෑසන ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු පිරිසක් තම දේවස්ථානයට බලහත්කාරයෙන් ඇතුළු වී සංගීත භාණ්ඩ සහ දේපල විනාශ කල බවයි.

මාලබේ කල්වාරි කිතුනු දේව මධ්‍යස්ථානයට පහර දීමේ සිද්ධියට බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු විත්තිකරුවන් දොළොස් දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කළ මෙම නඩුව නොවෙම්බර් මස දහ අටවෙනිදාට කල් තැබින.