වැලිවේරියේ ජනතාවට සහන සලසන්න: එ ජාතීන්ට පෙත්සමක්

අවසාන යාවත්කාලීන කිරීම :  2013 අගෝස්තු 30 සිකුරාදා - 14:14 GMT
Army in Weliweriya

'පරීක්ෂණ හරියට කෙරෙන්න ඕන. මනුස්සයන්ගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කරන්න ඕන'

හමුදා ප්‍රහාරයට ලක්වූ වැලිවේරියේ රතුපස්වල ජනතාවට සහන සලසන මෙන් ඉල්ලා සිටිමින් ප්‍රදේශවාසී භික්ෂුන් වහන්සේ නමක් එක්සත් ජාතීන්ගේ සංවිධානයට පෙත්සමක් ඉදිරිපත් කොට තිබේ.

දැනට ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදී සිටින මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස් නවී පිල්ලේට එම පෙත්සම භාරදී තිබෙන්නේ රතුපස්වල ගල්ලොලුව ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ අධිපති තෙල්පැහැ සිරිධම්ම හිමියන් විසින්.

තිදෙනකු මරා දමමින් සහ තවත් විශාල පිරිසකට තුවාල සිදු කරමින් උද්ඝෝෂකයන්ට එල්ල කළ හමුදා ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ "හරියට කෙරෙන්න ඕනෑ," බවයි, එහිමියන් සංදේශය කළ විමසීකම දී කියා සිටියේ.

'ජනාධිපතිටත් ඉහල කෙනෙක්'

"මනුස්සයන්ගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කරන්න ඕන," යනුවෙන්ද එහිමියෝ පැවසූහ.

එමෙන්ම ජනතා උද්ඝෝෂණයට හේතුවුණු කම්හල ප්‍රදේශයෙන් ඉවත් කර ගන්නා බවට ජනාධිපතිවරයා පොරොන්දු වී තිබුනත්, එය යලි විවෘත කිරීමේ උත්සාහයක් පවතින බව ද තෙල්පැහැ සිරිධම්ම හිමියෝ සංදේශයට කියා සිටියහ.

"ජනාධිපතිතුමාටත් වඩා ඉහල කෙනෙක් ඉන්නවා දැයි සැක සිතෙන," බවයි, එහිමියන් පවසන්නේ.

මේ අතර, යුද හමුදා ප්‍රහාරය සම්බන්ධ මූලික යුද හමුදා පරීක්ෂණය පදනම් කරගෙන එදින සේවයේ යෙදී සිටි බ්‍රිගේඩියර්වරයා සහ ලුතිනන් කර්නල්වරුන් තිදෙනකු තාවකාලිකව සේවයෙන් මුදා හැරීමට හමුදාපතිවරයා තීරණය කොට තිබේ.

කෙසේ නමුත් එම නිලධාරීන් තවමත් වරදකරුවන් ලෙසින් නම් කොට නොමැති බව සංදේශයට කියා සිටි හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය, මෙය හුදෙක් සාක්ෂි සම්පිණ්ඩනය සිදුවන තුරු ඔවුන් අදාළ නිලතලවල කටයුතු කිරීම සුදුසු නොවීම හේතුවෙන් ගන්නා ලද පියවරක් බව අවධාරනය කරයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.