ෆොන්ටෙරා සමාගම ශ්‍රී ලංකාවේ මෙහෙයුම් යලි අරඹයි

  • 28 අගෝස්තු 2013
Fonterra Sri Lanka products
ෆොන්ටෙරා නිෂ්පාදනවලට පනවා තිබුණු අතුරු තහනම පසුගිය සිකුරාදා ඉවත් කෙරින

ශ්‍රී ලංකාවේ සේවය කරන සේවකයන්ට එල්ල වෙමින් තිබූ තර්ජන පහව ගොස් ඇති බවට තහවුරු කර ගැනීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාවේ මෙහෙයුම් යලි ආරම්භ කළ බව ෆොන්ටෙරා සමාගම පවසයි.

විදේශිකයන් පස් දෙනකු ඇතුළු සිය සමාගමේ සේවකයන් හත් සිය පනස් පස් දෙනාගේ ආරක්ෂාවට එල්ල වෙමින් තිබුණු තර්ජන හමුවේ, වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ මෙහෙයුම් අත් හිටුවීමට තීරණය කළ බව ෆොන්ටෙරා සමාගම පසුගිය සිකුරාදා නිවේදනය කළේය.

කෙසේ නමුත් දැන් එම තර්ජන පහව ගොස් ඇති බවට තමන්ට විශ්වාස බවයි, සමාගමේ ප්‍රධාන විධායක තියෝ ස්පීරින්ග්ස් සඳහන් කරන්නේ.

බොටුලිස්ම් බැක්ටීරියාව

සමාගමේ කිරිපිටි නිෂ්පාදනවල ඩීසීඩී විෂ රසායනය අඩංගු බවට චෝදනා කරමින් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වීමෙන් අනතුරුව පනවා තිබුණු අතුරු තහනම පසුගිය සිකුරාදා ගම්පහ දිස්ත්‍රික් අධිකරණය විසින් ඉවත් කරන ලදි.

මේ අතර ෆොන්ටෙරා සමාගමේ නිෂ්පාදනවල බොටුලිස්ම් රෝග කාරක බැක්ටීරියාව අඩංගු නැති බව තම පරීක්ෂණවලින් සනාථ වී ඇතැයි නවසීලන්ත ආණ්ඩුව පවසයි.

කිරිපිටි නිෂ්පාදනවල බොටුලිස්ම් බැක්ටීරියාව අඩංගු බවට හටගත් ආන්දෝලනයත් සමඟම චීනය, රුසියාව වැනි රටවල් පවා ෆොන්ටෙරා නිෂ්පාදන තහනම කිරීමට හේතුවිය.

කෙසේ නමුත්, ෆොන්ටෙරා නිෂ්පාදනවල ඩීසීඩී විෂ රසායනය අඩංගු බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් නවසීලන්ත ආණ්ඩුවේ පරීක්ෂණ මණ්ඩලය කිසිවක් සඳහන් කොට නැත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර