මන්දනාගේ නිවසට කඩා වැදුනේ ‘ලිපි ගොනු ගෙන යාමට’

  • 27 අගෝස්තු 2013

ශ්‍රී ලංකා ජන මාධ්‍ය වේදීන්ගේ වෘත්තීය සමිතියේ සභාපතිනිය ගේ නිවසට කඩා වැදුනේ කොල්ලකරුවන් යයි ශ්‍රී ලංකාවේ පොලිසිය කරන ප්‍රකාශ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ජනමාධ්‍ය සංවිධාන මෙන් ම ශ්‍රී ලංකාවේ විපක්ෂය ද අවිශ්වාසය පල කොට තිබේ.

‘දූෂිත ගනුදෙනුවේ ලිපි ගොනුව අරගන්න ආවද කියල තමයි අපි අහන්නේ. අපේ චෝදනාව ඒකයි.’ -රනිල්

ප්‍රකාශයක් නිකුත් කරන RSF හෙවත් දේශ සීමා නොමැති මාධ්‍ය වේදියෝ සහ JDS හෙවත් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ පවසා ඇත්තේ පරීක්ෂණ හමාර කිරීමට පළමු පොලිසිය අපරාධය සම්බන්ධයෙන් මත පළ කිරීම රටේ මාධ්‍ය නිදහස මුහුණ පා සිටින අවදානම් සහගත තත්වය කියා පාන බවයි.

මේ අතර විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසන පරිදි මන්දනා ඉස්මයිල් අබේවික්‍රම ගේ නිවසට අවි රැගෙන සෙනසුරාදා පාන්දර පිරිසක් කඩා වැදුණේ දූෂිත ගනුදෙනුවකට අදාළ ලිපි ගොනු පැහැර ගෙන යාමටයි.

විපක්ෂ නායකයා මෑතදී ගොඩ නැගුණු සමගි බලවේගයේ විරෝධතාවකට එක්වෙමින් වැලිවේරියේ දී කියා සිටියේ විදේශීය ඉදිකිරීම් සමාගමකට කොළඹ පිහිටි අගනා ඉඩමක් විකිණීමේදී සිදුවී ඇති දුෂිත ලෙස හැඳින්වුණු ගනුදෙනුවක ට අදාළ ලිපි ගොනුව මන්දනා ඉස්මයිල් මාධ්‍යවේදිනිය සතුව තිබූ බවයි.

‘ඒක අරගන්න ආවද කියල තමයි අපි අහන්නේ. අපේ චෝදනාව ඒකයි.’ රනිල් වික්‍රමසිංහ තවදුරටත් පැවසීය.