වකුගඩු රෝග ගොවි ජිවිත අඩපන කරයි

  • 24 අගෝස්තු 2013
වකුගඩු රෝගයෙන් පෙලෙන කුමාරසිංහ සිය බිරිඳ සහ දියණියන් දෙදෙනා සමඟ

වකුගඩු රෝග වලට ගොදුරු වීමේ ප්‍රවනතාවය වැඩිවීමෙන් ශ්‍රී ලංකාවේ ගොවි ජනතාව අසරණ තත්ත්වයකට වැටී ඇත.

වැඩිපුර ම වකුගඩු සායන වාර්තා වන්නේ උතුරු මැද පලාතෙන් හා ඒ ආශ්‍රිතවයි.

“ දවල් දහයේ විතර ඉඳන් දෙක වෙන කන් විතර මොනවා වෙනවද කොහේ ඉන්නවද කියලා තේරෙන්නේ නැහැ. පුදුම අමාරුවක් ඇඟට දැනෙන්නේ. නිතරම ක්ලිනික් යනවා. දවස් හතරකට සැරයක් ඩයලයිස් කරනවා, පැය හතරක්’ වසර තිහක් තිස්සේ වී ගොවියෙකුව සිටි කුමාරසිංහ හමුවූ සංදේශයේ තක්ෂිලා දිරුක්ෂිට ඔහු පැවසුවේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව දැනට ශ්‍රී ලංකාවේ වකුගඩු සායන සඳහා ලියා පදිංචි රෝගීන් ගණන 180,000 කි. මෙයින් 17% ක් අනුරාධපුර, පොලොන්නරුව සහ කුරුණෑගලින් වාර්තා වේ. ගොවිතැන් වගා වැඩි වශයෙන් සිදුවන කලාප වල භාවිතා කෙරෙන කෘෂි රසායන ප්‍රමාණයද ඉතා අධික මට්ටමක පවතී.

ජීවනෝපාය

වකුගඩු ආබාධ වලට විශේෂයෙන්ම ගොදුරු වන්නේ ගෘහ මුලිකයන්. බොහෝ විට ගොවි පවුල්වල එකම නඩත්තුකරුවන් වන්නේ ගෘහ මූලික ගොවීන් වන අතර, එම තත්වය ඔවුන් වකුගඩු රෝගයට ගොදුරු වීමට වීමට හේතුවක් වී ඇත. එවැනි තත්වයක් යටතේ,තමන්ට තිබෙන එකම ජීවනෝපාය බිඳවැටීම හේතුවෙන් ගොවි පවුල් වල සාමාජිකයන් මුහුණ පා සිටින්නේ ජීවිතය ගැට ගසා ගැනීමේ අභියෝගයටයි.

"ගැහැනු ළමයි දෙන්නෙක් තමයි මට ඉන්නේ. ලොකුදුව ලබන අවුරුද්දේ විභාගය ලියන්න ඉන්නේ. පොඩි දුව හතේ පන්තියේ. අපට ජිවත් වෙන්න වෙන කිසිම මාර්ගයක් නැහැ" කුමාරසිංහ පැවසුවේය.

උතුරු මැද පළාතේ විශාල වශයෙන් පැතිර යන වකුගඩු රෝග ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද අවධානය යොමුව ඇත.

දිගින් දිගටම කෘෂි රසායනික ද්‍රව්‍යය භාවිතා කිරීම නිසා වකුගඩු රෝග පැතිර යාමේ ප්‍රවනතාවක් හට ගෙන ඇති බව රජය පිළි ගත යුතු අතර, එමගින් විපතට පත් වූවන්ට සහන ලබා දීමට ද පියවර ගත යුතු බව ගොවි සංවිධාන නායකයෙකු වන කේ පි ජයතිස්ස ප්‍රකාශ කරයි.