ෆොන්ටෙරා සමාගමේ 'සේවකයන්ට තර්ජන'

  • 23 අගෝස්තු 2013
A protest against fonterra products
ෆොන්ටෙරා නිෂ්පාදන ශ්‍රී ලංකාවේ බෙදා හැරීම තාවකාලිකව තහනම් කොට තිබේ

ෆොන්ටෙරා සමාගමේ ශ්‍රී ලංකා කම්හල් තාවකාලිකව වසා දැමීමට තීරණය කළේ ශ්‍රී ලංකාවේ සේවය කරන හත් සිය පනස් පහක් වන සිය සමාගමේ සේවකයන්ට එල්ල වන තර්ජනවලින් අනතුරුව බව සමාගමේ ප්‍රධාන විධායකවරයා පවසයි.

කොළඹ පිහිටි සිය කම්හල ඉදිරිපස පැවති ජනතා උද්ඝෝෂණයකින් අනතුරුව, ආරක්ෂක හේතූන් මත නැවත දන්වන තුරු සේවයට නොපැමිණෙන මෙන් සේවකයන්ට දැනුම් දුන් බවයි, තියෝ ස්පියරින්ග්ස් රේඩියෝ නිවුසීලන්ඩ් ගුවන් විදුලියට කියා සිටියේ.

සමාගමේ නිෂ්පාදනවල ඩීසීඩී විෂ රසායනය අඩංගු බවට චෝදනා එල්ල වීමෙන් අනතුරුව සමාගමේ සේවකයන් මෙන්ම රට පුරා පිහිටි ෆොන්ටෙරා ශාඛාවලටද පාරිභෝගිකයන්ගේ විවිධ තර්ජන එල්ල වී තිබෙන බවයි, ප්‍රධාන විධායකවරයා පවසන්නේ.

ශ්‍රී ලංකාව පුරා පිහිටි ව්‍යාපාරික ස්ථාන දහ අට දහසක සිය නිෂ්පාදන අලෙවි කරන බව පවසන ඔහු, එම අලෙවි සැල් වලට ෆොන්ටෙරා නිෂ්පාදන බෙදා හරින්නන් පාරිභෝගිකයන් ගේ ප්‍රශ්න කිරීමට ලක් වී තිබෙන බව ද තියෝ ස්පියරින්ග්ස් පැවසීය.

මෙම උද්ඝෝෂණ තවදුරටත් දුර දිග ගියහොත්, 'තීරණාත්මක' වාතාවරණයක් මතු වීමේ තර්ජනයක් පවතින බව පෙන්වා දෙන ෆොන්ටෙරා සමාගමේ ප්‍රධානියා, ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සහ බෙදා හැරීමේ කටයුතු යළිත් ආරම්භ කිරීමට ප්‍රථම මතු වී තිබෙන තත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව සමඟ සාකච්ඡා කරන බව ද සඳහන් කළේය.