ජී එල් ප්‍රකාශයට ඉන්දීය ධීවර විරෝධය

  • 19 අගෝස්තු 2013

ඉන්දියාවේ සංචාරයක නිරත වී සිටින විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස්, ශ‍්‍රී ලංකා මුහුදු සීමාව හරහා පැමිණෙන ඉන්දීය ධීවරයින් අත් අඩංගුවට ගැනීම පිළිබඳ අගමැති මන් මෝහන් සිංග් සමග සාකච්ඡා කළ බව ද, මුහුදු සීමාව උල්ලංඝනය කරන ධීවරයින්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව අමාත්‍ය පීරිස් ප්‍රකාශ කළ බව ද දිල්ලියේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

ඇමතිවරයා ගේ ප්‍රකාශය ඉන්දීය ධීවරයන්ගේ කෝපයට හේතු වී ඇති බවයි ඉන්දීය ධීවර සංගම් නායකයෙකු වන එම්. ජේ. බෝස් කියා සිටියේ.

‘අගමැති කාර්යාලයේ නියෝජ්‍ය ඇමති නාරයනස්වාමි අපට කිව්වේ දින පහක් තුල ධීවරයින් නිදහස් කරන බවයි. දැන් ශ්‍රී ලංකා විදේශ ඇමති කියන්නේ හාත්පසින් වෙනස් කතාවක්” ධීවර නායකයා ප්‍රකාශ කරයි.

ධීවර සමගිය

ඉන්දීය මුහුදු සීමාවට පැමිණෙන ශ්‍රී ලංකා ධීවරයින් ඉන්දීය රජය මගින් අත් අඩංගුවට ගැනීමට එරට ධීවරයින් විරුද්ධ බව ප්‍රකාශ කරන ධීවර නායකයා, දෙ රට ධීවර නායකත්වය එකමුතුව ගැට‍ළු විසඳා ගත යුතු බව ද කියා සිටියි.

‘අපි ශ්‍රී ලංකාවේ ධීවරයින් හා සාකච්ඡා කර ඇති කර ගැනීමට උත්සාහ ගන්නා එකඟතාවට මෙය බාධාවක්. මේ නිවේදනයෙන් හදන්නේ දෙ රටේ ධීවර සමගියට බාධා කරවන්ටයි”.

මේ දිනවල ඉන්දියාවේ නිල සංචාරයක යෙදී සිටින විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඉන්දීය විපක්ෂ නායකයන් හමුව සාකච්ඡා පැවැත්වූ බව ද මාධ්‍ය වාර්තා සඳහන් කරයි.