ආගමික ප්‍රචණ්ඩතා 'වැලැක්වීමට දඬුවම් කරන්න'

11 අගෝස්තු 2013 අවසාන වරට යාවත්කාලීන කළේ 11:06 GMT

ග්‍රෑන්ඩ්පාස් මුස්ලිම් පල්ලියට එල්ල වූ ප්‍රහාරය ගැන සිය බරපතල අවධානය පළ කරන ඇමෙරිකා එක්සත් ජනපදය, ආගමික ප්‍රචණ්ඩත්වය වැළැක්වීම පිණිස ප්‍රහාරයට සම්බන්ධ වැරදිකරුවන්ට දඬුවම් කරන්නැයි ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

සෙනසුරාදා රාත්‍රියේ එල්ල වූ ප්‍රහාරය පිළිබඳව හදිසි නිවේදනයක් නිකුත් කරන කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය, විශේෂයෙන්ම මෑත දී ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට එල්ල වූ ප්‍රහාර මාලාවට තවත් ප්‍රහාරයක් එකතුවීම 'වඩාත් වියවුල්කාරී' බවයි, සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය ප්‍රකාශ කරන පරිදි ගතව ගිය වසර ඇතුලත ප්‍රහාරවලට ලක් වී තිබෙන ශ්‍රී ලංකාවේ මුස්ලිම් දේවස්ථාන සංඛ්‍යාව විස්සකට අධිකයි.

"සියලුම ශ්‍රී ලංකාවාසීන්ගේ ආගම් ඇදහීමේ අයිතිය ආරක්ෂා කළ යුතු" බවත් ඇමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

පොලිස් ඇඳිරි නීතිය නිමා වී තිබුණත්, ඉරිදා දිනයේත් ග්‍රෑන්ඩ්පාස් හි නොසන්සුන් වාතාවරණයක් පැවති අතර, ඉරිදා සවස් යාමයේ යලිත් වරක් ගැටුම් හට ගැනීම හේතුවෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම තුල ඉරිදා රාත්‍රියේ සිට සඳුදා උදෑසන දක්වා පොලිස් ඇඳිරි නීතිය පණවා තිබේ.