ඩීඑස්අයි කම්හල්වල විෂ වායුව පාලනය කිරීමට එකඟවේ

  • 9 අගෝස්තු 2013
රැස්වීමට සහභාගි වී සිටි පිරිස
පළාතේ දේශපාලන නායකයන්, සෞඛ්‍ය බලධාරීන් සහ පරිසර අධිකාරියේ නිලධාරීන් ප්‍රදේශවාසීන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට මුහුණ දුන්හ

ඩීඑස්අයි සමාගම් සමූහයට අනුබද්ධ රබර් කම්හල් දෙකක් මගින් ඉමදූව, දොරපේ සහ වැලිකොන්ද ගම්වාසීන්ගේ සෞඛ්‍යයට තර්ජන එල්ල වී තිබෙන තර්ජන පිළිබඳව කම්හල් බලධාරීහු සමාව ඉල්ලා සිටියහ.

එස්ආර්ආර්අයි සමාගමේ කම්හල් දෙකෙන් පිට වන විෂ වායුව පාලනය කිරීම පිණිස සති තුනක් ඇතුලත දහන එන්ජින් සවි කරන බවට කම්හල් පාලකයෝ පොරොන්දු වූ අතර, ප්‍රදේශයේ පානීය ජලය සම්බන්ධයෙන් විද්‍යාත්මක පරීක්ෂණයක් පවත්වන බවයි, ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් ප්‍රදේශවාසීන්ට කියා සිටියේ.

කම්හල්වලින් පිටවන විෂ වායුව නිසා ප්‍රදේශයේ පාසල් දරුවන් ක්ලාන්තය, හිසරදය වැනි රෝගාබාධවලට ගොදුරු වෙමින් සිටින බවට දොරපේ සහ වැලිකොන්ද ප්‍රදේශවාසීන් එල්ල කරන චෝදනා සාකච්ඡා කිරීම පිණිස පසුගිය බදාදා දොරපේ මහා විද්‍යාලයේදී පැවැත්වුණු රැස්වීමකදීයි, එම එකඟතාවයට එළැඹි තිබෙන්නේ.

ඉතා ඉක්මනින්ම ප්‍රදේශවාසීන්ගේ ගැටළු විසඳීමට පියවර ගන්නා බවයි, කම්හල් දෙකේ නිෂ්පාදන ඉංජිනේරු ප්‍රසාද් ගුණසිංහ රැස්වීම අමතමින් කියා සිටියේ.

'පිළිකාව අධික පළාතක්'

ඉමදූව සහ අක්මීමන ප්‍රාදේශීය සභා සභාපතිවරුන් ඇතුළු ප්‍රාදේශීය බලධාරීන් සහ ආගමික නායකයන් ඇතුළු විශාල පිරිසක් රැස්වීමට සහභාගි වී සිටි අතර, ප්‍රාදේශීය දේශපාලන නායකයන්ද ප්‍රදේශවාසීන්ගේ දැඩි ප්‍රශ්න කිරීමට ලක්විය.

කම්හල් දෙකේ නිෂ්පාදන ඉන්ජිනේරු ප්‍රසාද් ගුණසිංහ
කම්හල්වලින් මුදා හැරෙන වායුව පාලනය කිරීමට පියවර ගන්නා බවට ඉංජිනේරුවරයා පොරොන්දු විය

පාසල් දරුවන් මුහුණ දෙන සෞඛ්‍ය ගැටළු මෙන්ම ගතව ගිය වසර දෙක ඇතුලත වැලිකොන්දවාසීන් විසි හය දෙනකු පිළිකාවලට ගොදුරු වී ඇති බව පවසන රැස්වීමට සහභාගිව සිටි මාධ්‍යවේදී රත්නසිරි නල්ලපෙරුම, වැලිකොන්ද පිළිකා රෝග බහුල පලාතක් ලෙසින් සෞඛ්‍ය බලධාරීන් විසින් නම් කොට තිබෙන බව ද පවසයි.

මේ තත්වය යටතේ ප්‍රදේශයේ බෝවන රෝග සහ වසංගත රෝග පිළිබඳව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ මූලිකත්වයෙන් සමීක්ෂණයක් පැවැත්වීමට ද රැස්වීමේදී එකඟත්වයකට පැමිණියහ.

රැස්වීමේදී එකඟ වූ පරිදි ප්‍රශ්නයට කඩිනම් විසඳුමක් ලබා දීමට පියවර ගන්නා බවට එම ප්‍රශ්න කිරීම් හමුවේ නිෂ්පාදන ඉංජිනේරු ප්‍රසාද් ගුණසිංහ ප්‍රතිඥා දුන්නේය.

එස්ආර්ආර්අයි සමාගමේ රබර් ප්‍රතිශක්තිකරණ කම්හල් හේතුවෙන් ප්‍රදේශයට විශාල සේවයක් සිදුවන බව පිළිගත් ඉමදූව ප්‍රාදේශීය සභාවේ සභාපති සරත් කුමාර, කෙසේ නමුත් කම්හල් නිසා ප්‍රදේශයේ දරුවන්ගේ සෞඛ්‍යයට හානියක් වන්නේ නම්,ඒ කිසිවකින් ප්‍රතිඵලයක් අත් නොවන බව සඳහන් කළේය.

ගිම්හාන නිවාඩුව හමාරයේ ලබන මාසයේ යළිත් වරක් පාසල් විවෘත වන විට කම්හල්වලින් පිටවන විශ් වායුව පාලනය කිරීමට විධිමත් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක නොවුවහොත් කම්හල් දෙක වසා දමන බව සභාපතිවරයා අවධාරණය කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර