ලංකාවේ අසරණ දැරියන් වෙනුවෙන් කැපවුන ඕලන්ද තරුණයෝ

7 අගෝස්තු 2013 අවසාන වරට යාවත්කාලීන කළේ 12:25 GMT

නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩැම් අගනුවර පැවැත්වෙන සංවත්සර උත්සවයක්.

යුරෝපා රටක අගනුවර පැවැත්වුනත් උත්සවයේ ප්‍රධාන අවධානය දුර ඈත මහාද්වීපයක පුංචි දූපතක්.

නිමල් සමන්ත ෆොන් ඕත් මේ උත්සවය සංවිධානය කළ නෝනා පදනමේ නිර්මාතෘවරයායි.

“මට යාන්තම් මාස හයේදී නෙදර්ලන්තයේ අම්මයි, තාත්තයි මාව අරන් හදා ගෙන තියෙනවා,” ආසියානු පෙනුමකින් යුත් ඒ තරුණයා මා සමඟ සංවාදයකට එක් වුනේ උත්සවයේ සමාරම්භක දේශනය පැවැත්වීමෙන් අනතුරුව ලැබුන මඳ විරාමයක දී.

නෝනා පදනමේ විධායක මණ්ඩලය
නිමල් සමන්ත සහ ජූරි සංජීව නෝනා පදනමේ විධායක මණ්ඩලය සමඟ

“මම ඉපදිලා තියෙන්නේ කළුතර. මාව අරන් හදා ගත්තු බව නෙදර්ලන්තයේ අම්මල පුංචි කාලේ ඉඳලම මට කිවුව.”

“අනික මමත් මෝඩයෙක් නෙවෙයිනේ? ඉස්කෝලේ සේරම සුදු දරුවෝ එක්ක මම වෙනස් කෙනෙක් බව මට තේරුනා.”

අප සංවාදයේ යෙදී සිටින අතරවාරයේ, ඔහුගේ නිවුන් සොහොයුරු ජූරි සංජීව ද අප සිටින ස්ථානයට පැමිණියේය.

'මම අනාථ වෙච්ච කෙනෙක්'

නෝනා පදනමේ නිර්මාතෘ නිමල් සමන්ත සියල්ල ඉතා බැරෑරුම් ලෙසින් සලකන තරුණයෙක් මුත් ඔහුගේ නිවුන් සොහොයුරා ජීවිතය සැහැල්ලුවෙන් සලකන විනෝදයට බර තැනැත්තෙක් ලෙසිනුයි ඊට දිනකට පෙර ඔහු මුණ ගැසුණු මුල් අවස්ථාවේම මට හැඟුනේ.

එහෙත් ජූරි සංජීව සිය හැඟීම් විවර කළ මොහොතේ මා ඉදිරියේ සිටියේ හාත්පසින්ම වෙනස් පුද්ගලයෙක්.

“මම අනාථ වෙච්ච කෙනෙක් කියන හැඟීම මට පුංචි කාලේ ඉඳලම තිබුනා,” ඔහු පැවසුවේ සංදර්ශන ශාලාවේ කොනක මට අසුනක් දක්වමින්.

ජූරි සංජීව
'පොඩි කාලේ හැමදාමත් මම ‘ජන්ගල් බුක්’ කියන ෆිල්ම් එක බලනවා. ඒ ෆිල්ම් එක දකින හැම වෙලාවෙම මම හදවතින් අඬනවා'

“පොඩි කාලේ හැමදාමත් මම ‘ජන්ගල් බුක්’ කියන ෆිල්ම් එක බලනවා.”

බාල වියේ සිටම පෙළුණු වේදනාව සඟවා ගැනීම පිණිසම ඔහු විනෝදකාමී චරිතයක් රඟපෑවේ දැයි මා සිතේ මතු වූයේ කුතුහලයක්.

“පුංචි කාලේ ඉඳල කැලේ ජීවත්වුණු ඉන්දීය පිරිමි ළමයෙක් ගැන කතාවක් ඒ ෆිල්ම් එකේ තියෙන්නේ. දවසක් එයා එක පාරටම ඉන්දියානු දැරියක් දකිනවා. එතකොට තමයි එයාට චකිතයක් ඇති වෙන්නේ මම කවුද කියල: එයා ඉන්දියානු දරුවෙක්ද නැත්නම් එයාගේ යාලුවෝ වගේ සතෙක්ද කියල. ඒ ෆිල්ම් එක දකින හැම වෙලාවෙම - අද පවා - මම හදවතින් අඬනවා.”

“මොකද මම ඒකෙ දකින්නේ මාව.”

ශ්‍රී ලංකාවේ ඉපදී, නෙදර්ලන්තයේ හැදී වැදුණු මේ දරුවන් දෙදෙනා, දහඅට වැනි විය සපිරෙද්දී නෙදර්ලන්ත මාපියන් ද සමඟ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූහ.

ඒ දුරු රටක හැදී වැඩෙද්දී සිය ජීවිතයේ කුමක් දෝ අඩුවක් තිබුණු බව ඔවුන්ට හැඟී ගිය නිසා.

'ජීවිතේ මොකක්දෝ අඩුවක්'

“නමුත් ඒ අඩුව මොකක්ද කියල මම දැනගෙන හිටියේ නෑ,” නිමල් සමන්ත පැවසීය.

යාන්තමින් සති හයක් පිරෙද්දී දුරු රටකට රැගෙන යනු ලැබීම නිසා මවු තුරුලේ උණුසුම අහිමි වීම ඒ අඩුව බව ඔවුන්ට වැටහුනේ පළමු වරට ශ්‍රී ලංකාවේ සංචාරය කළ මොහොතේ පටන්.

සිය ආදරණීය අම්මා තවදුරටත් ජීවතුන් අතර නැති බව සැල වී ශෝකයෙන් කම්පිත වූ ඔවුන්ට ඒ ශෝකය දරා ගැනීම පිණිස දෝ ප්‍රීතිමත් පුවතක් ද සැලවී තිබිණ.

නිමල් සමන්ත සිය මිතුරු ගිදෝ ශේප්ස් සහ සරෝජ් පතිරණ සමඟ
'පලවෙනි වතාවට නංගිව දැක්කට පස්සේ මගේ ජීවිතේ ආයෙත් පටන් ගත්ත කියල මට හිතුනා'

ඒ ඔවුන් දෙදෙනා මෙලොව තනි වී නැති බවයි.

“ජීවිතේ පළවෙනි වතාවට මගේ නංගි දැක්ක වෙලාවේ, මගේ අම්ම ගැන නිවුස් එක මට ආරංචි වුන වෙලාවේ, මගේ ජීවිතේ තිබුණු අඩුව මොකක්ද කියල මට තේරුනා. ඇත්තටම ඊට පස්සේ මගේ ජීවිතේ සර්ව සම්පූර්ණයි,” ලෙසිනුයි, ඒ හමුව ගැන නිමල් සමන්ත මතකය අවදි කළේ.

“පලවෙනි වතාවට නංගිව දැක්කට පස්සේ මගේ ජීවිතේ ආයෙත් පටන් ගත්ත කියල මට හිතුනා.”

2004 දී පළමු වරට සිය නැගණිය හමුවීමෙන් අනතුරුව සතුට සහ ශෝකය පිරුණු හදවතකින් යලි නෙදර්ලන්තයට පැමිණෙන නිමල්, නෝනා පදනම පිහිටවන්නේ ජීවිතයේ කිසිදා නොදුටු අම්මා වෙනුවෙන්.

දූෂණයට සහ ලිංගික අතවරවලට ලක් වන ශ්‍රී ලාංකීය දැරියන්ට පිහිටවීමේ අරමුණින් ආරම්භ කෙරුණු පදනම මේ වන විට එවැනි දැරියන් දහසකට ආසන්න පිරිසකට අත දී තිබෙන බව ඔහු පවසයි.

විනෝදයට බර හැඩක් බාහිරයෙන් දකින්නට ලැබෙන ජූරි සංජීවට නම් ඒ වේදනාව දරා ගැනීම එතරම් පහසු වූයේ නැහැ.

“මගේ ලංකාවේ අම්ම ගැන හැමදාම මම හිතුව,” ඔහු යලිත් කටහඬ අවදි කළේ දැඩි වේදනාවකින් සුසුමක් හෙලමින්.

“වාසනාවකට නිමල් පුංචි කාලේ එක්ක මාත් එක්ක හිටිය. තනියම හිටිය නම් දැනටම මම මැරිලා. මේ රටේ මම හුදෙකලා වෙලා.”

---------------------------------------------------------------------------------------------------------------------

නිමල් සහ ජූරි සිය අම්මා සොයා ශ්‍රී ලංකාවට ගිය අන්දම සහ ඔවුන්ට නංගී හමු වූ අන්දම මීළඟ කොටසින්.