මාධ්‍යවේදියා පිලිබඳ බී බී සී පුවතට දෙරණ ප්‍රතිචාර

අවසාන යාවත්කාලීන කිරීම :  2013 අගෝස්තු 6 අඟහරුවාදා - 14:44 GMT

රැකියාවේ පත්වීම දුරකථන ඇමතුමකින් ලබා දී කෙටි දුරකථන පණිවිඩයකින් තමා සේවයෙන් පහ කරන ලද බවට මාධ්‍යවේදී කැළුම් අමරසිංහ බීබීසිය ට පැවසූ තොරතුරු සත්‍යයෙන් තොර බව දෙරණ මාධ්‍ය ආයතනය ප්‍රකාශ කරයි.

තමා කිසිදු පුර්ව දැනුම් දීමකින් තොරව සේවයෙන් අත්හිටවූ බව බීබීසී සංදේශයට කියා සිටියේ දෙරණ එෆ් එම් සේවයේ දවසේ පුවත් පත් සමාලෝචන වැඩ සටහනක් ඉදිරිපත් කරමින් සිට වැඩ තහනමට ලක් වූ කැළුම් අමරසිංහ.

පත්වීම තහවුරු කැරෙන කිසිදු නිල ලියවිල්ලක් මේ වන තෙක් තමාට ලබා දී නැති මුත් දෙරණ ආයතනය විසින් සම්පත් බැංකුවේ පවත්වා ගෙන යනු ලබන ගිණුම හරහා වේතනය ලබා දුන් බවයි ගුවන් විදුලි ශිල්පී කැළුම් අමරසිංහ කියා සිටින්නේ.

රතුපස්වල හමුදා ප්‍රහාරය සම්බන්ධව ලංකාදීප පුවත් පතේ පළ වූ ප්‍රවෘත්ති දෙකක කරුණු ඉදිරිපත් කිරීමේ දී තමා දැක්වූ අදහස් මෙම වැඩ තහනමට හේතු වී ඇති බව ඔහු කියා සිටියේ ය.

'විවේචන බෑ'

වැඩ තහනමින් අනතුරුව කරුණු විමසීමේ දී “අපිට කියල තියෙන්නෙ ජනාධිපති තුමා සහ ආරක්ෂක ලේකම්වරයා හෝ ඔවුන්ට අදාළ කිසිදු දෙයක් විවේචනය කරන්න බෑ කියල," යන පිළිතුර වැඩසටහන් අධ්‍යක්ෂවරයාගෙන් තමාට ලැබුණු බව කැළුම් අමරසිංහ ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත් වහාම තමාගේ වැඩ තහනම දෙරණ ආයතනයේ ප්‍රධානියකු වන දිලිත් ජයවීරගේ නියෝගයෙන් කළ වග වැඩසටහන් අධ්‍යක්ෂවරයා තමාට දැනුම් දුන් බවයි ගුවන් විදුලි ශිල්පී කැළුම් අමරසිංහ කියා සිටින්නේ.

දෙරණ පාලනාධිකාරියේ ප්‍රතිචාරය දැන ගැනීමට අප එහි ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානී ෂෙහාන් බරණගේ කීප වර දුරකතනයෙන් ඇමතුවත් ඔහු සම්බන්ධ කර ගැනීමට හැකි වුයේ නැහැ.

දෙරණ ප්‍රතිචාර

මේ පිළිබඳව දෙරණ ආයාතතනයෙන් බදාදා කරුණු දැක්වීමක් සිදුකොට ඇත;

අනුපමා රේඩියෝ කෝච්චිය නම් විනෝදාත්මක පුවත් සිරස්තල වැඩ සටහනේ හඬ කැවීම් ශිල්පියකු වශයෙන් කැලුම් අමරසිංහ සේවය කළ බව පවසන FM දෙරණ ආයතනයේ අනුපමා වැඩසටහනේ නිෂ්පාදක වරයා ඔහුගේ හඬ දායකත්වය තමන් සැහීමකට පත් වන අයුරින් ලබා දීමට අපොහොසත් වූ බැවින් තව දුරටත් හඬ දායකත්වය ලබා නොදීමට තීරණය කළ බව අපට දැනුම් දී තිබේ.

අනුපමා නිෂ්පාදක බණ්ඩාර විජේරත්න බීබීසී සිංහල අංශයට මේ බව අද ඊ මේල් පණිවුඩයකින් දන්වා එවා ඇත්තේ කැලුම් අමරසිංහ මාධ්‍යවේදියා වැලිවේරිය ප්‍රහාරය සම්බන්ධ ප්‍රවෘත්ති පිළිබඳව අදහස් දැක්වීම නිසා දෙරණ ආයතනයේ ප්‍රධානියකු වන දිලිත් ජයවීරගේ නියෝගයෙන් වැඩ තහනමට ලක්වූ බවට පළවූ ප්‍රවෘත්තිය සත්‍ය නොවන බව දන්වමින්.

කැලුම් අමරසිංහ බඳවා ගනු ලැබුයේ තමන්ගේ අභිමතය පරිදි පමණක් බව පවසන නිෂ්පාදක බණ්ඩාර විජේරත්න තව දුරටත් කියා ඇත්තේ ඔහුගේ සේවය අත්හිටුවීම පිලිබඳ පාලනාධිකාරියේ කිසිදු බලපැමක් නොවූ බවයි.

"දිලිත් ජයවීර මහතා කිසිදු දිනක මා හට දුරකතනයෙන් හෝ පෞද්ගලිකව අමතා කිසිදු නියෝගයක් ලබා දී නොමැති අතර මා දන්නා තරමින් ඔහු දෙරණ අධ්‍යක්ෂ මණ්ඩලයේ හෝ සාමාජිකයෙකු නොවේ.” යනුවෙන් අනුපමා නිෂ්පාදක බණ්ඩාර විජේරත්න විසින් බීබීසී සිංහල අංශයට එවන ලද නිවේදනයේ සඳහන් වේ.

වැඩි තොරතුරු සඳහා

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.