මාතලේ 'බරපතලම පූර්ව මැතිවරණ ගැටුම' නාවුලෙන්

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජූලි 29 සඳුදා - 14:15 GMT
Vehicles damaged in the clash

ශ්‍රී ලංකාවේ නීතිය පිළිබඳ පැවති විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටුණු බව ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි (ඡායාරූපය - කාංචන කුමාර ආරියදාස)

පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන් දෙපිරිසක් අතර මාතලේ නාවුල දී හටගත් ගැටුම දිස්ත්‍රික්කයෙන් මෙතෙක් වාර්තා වූ බරපතලම පූර්ව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාව බව මැතිවරණ නිරීක්ෂකයෝ පවසති.

පාලක සන්ධානයෙන් එළඹෙන පළාත් සභා මැතිවරණයට තරඟ වැදීමට සැරසෙන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ තිලක් බණ්ඩාරගේ ආධාරකරුවන් අතර ඉරිදා රාත්‍රියේ හට ගත් එම ගැටුමෙන් වාහන කිහිපයකට අලාභ හානි සිදු වී තිබෙන බව කැෆේ සංවිධානය පවසයි.

මෙය අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් වසන්ත පෙරේරා අතර කලක් මුළුල්ලේ පවතින ගැටුමේ දිගුවක් ලෙසින් දකින්නට ලැබෙන බවයි, එහි ප්‍රකාශක රජිත් කීර්ති තෙන්නකෝන් බීබීසී සංදේශයට කියා සිටියේ.

'පිස්තෝලයක් රැගෙන'

පිස්තෝලයක් රැගෙන පැමිණි තෙන්නකෝන් අමාත්‍යවරයා ගේ පුතා සිය ආධාරකරුවන්ට තර්ජනය කළ බවට ප්‍රාදේශීය සභා සභාපති තිලක් බණ්ඩාර චෝදනා කරන නමුත්, එම චෝදනාව ප්‍රතික්ෂේප කරන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පළාත් සභා මන්ත්‍රීවරයා පවසන්නේ සිය රථය නතර කොට තර්ජනය කළේ සභාපතිවරයා ගේ ආධාරකරුවන් බවයි.

"පැහැදිලිව පෙනී ගියා ඔහු රෝහලෙන් පිටව යාමට සුදුසු තත්වයක නොසිටි බව. අපි කතා කරන්න උත්සාහ කලාම අපි කවුද කියල අඳුන ගත්තට පස්සේ ඔහු ප්‍රතිචාර දැක්වීම නවතා දැමුවා"

කැෆේ සංවිධානයේ ප්‍රකාශක රජිත් කීර්ති තෙන්නකෝන් ප්‍රහාරයට ලක් වූ මාධ්‍යවේදියා පිළිබඳව සඳහන් කරමින්

මින් අනතුරුව මෙවැනි ගැටුම් ඇති නොවීම සඳහා පියවර ගන්නා මෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ ගෙන් ඉල්ලා සිටින බව ද ප්‍රාදේශීය සභා සභාපති තිලක් බණ්ඩාර කියා සිටියේය.

තමන්ට පහර දුන් පිරිස බීමත්ව සිටි නමුත් වෛද්‍ය වාර්තාවේ සඳහන් වූයේ ඔවුන් බීමතින් නොසිටි බව පවසන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පළාත් සභා මන්ත්‍රීවරයා, ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ නීතිය පිළිබඳ පැවති විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටුණු බව සඳහන් කළේය.

ගැටුම වාර්තා කිරීමට ගිය ස්වාධීන රූපවාහිනියේ මාධ්‍යවේදී රසික දර්ශන විජේතිලකට ද ප්‍රහාරයක් එල්ල වී ඔහු රෝහල් ගත කොට තිබෙන නමුත් මේ වන විට ඔහු රෝහලෙන් පිටව ගොස් ඇති බව ද රජිත් කීර්ති තෙන්නකෝන් කියා සිටියේය.

"පැහැදිලිව පෙනී ගියා ඔහු රෝහලෙන් පිටව යාමට සුදුසු තත්වයක නොසිටි බව. අපි කතා කරන්න උත්සාහ කලාම අපි කවුද කියල අඳුන ගත්තට පස්සේ ඔහු ප්‍රතිචාර දැක්වීම නවතා දැමුවා," යනුවෙන් ද ඔහු සඳහන් කළේය.

ප්‍රාදේශීය මාධ්‍යවේදී සංවිධාන සහ සිවිල් සංවිධාන ප්‍රහාරයට එරෙහිව උද්ඝෝෂණය කිරීම සඳහා සූදානම්ව සිටි නමුත් එයට මුලින් සහාය පළ කළ මාධ්‍යවේදී විජේතිලක පසුව එම අදහස වෙනස් කර ගෙන ඇති හැඩක් පෙනී යන බවයි, කැෆේ සංවිධානය පවසන්නේ.

ප්‍රහාරයෙන් අනතුරුව එල්ල වූ තර්ජන හේතුවෙන් මාධ්‍යවේදී රසික දර්ශන විජේතිලක සැඟවී සිටින බවයි, ජනසන්නිවේදකයන්ගේ සමූපකාර සංගමය සංදේශයට කියා සිටියේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.