අල්ලස් චෝදනා මත අගවිනිසුරුවරියට නොතීසි

  • 29 ජූලි 2013
CJ Shirani Bandaranayake
අගවිනිසුරුවරියට එරෙහිව 'දඩයමක්' ක්‍රියාත්මක වන බව නීතිවේදීහු පවසති

බැංකු ගිණුම්වල තොරතුරු වසන් කිරීමේ චෝදනාව මත අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව අල්ලස් කොමිසම විසින් අධිකරණය හමුවේ නඩු තුනක් ගොනු කරන ලදි.

චෝදනා පරීක්ෂා කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය ධුරයෙන් පහ කෙරුණු අගවිනිසුරුවරියට සැප්තැම්බර් දහසය වැනි දින අධිකරණය ඉදිරියේ පෙනී සිටින මෙන් දන්වා නොතීසි නිකුත් කළේය.

වාර්ෂිකව සිය වත්කම් සහ බැරකම් ඉදිරිපත් කිරීමට අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක බැඳී සිටින නමුත් ජාතික සංවර්ධන බැංකුවේ ඇය සතුව තිබුණු ගිණුම් දෙකක තොරතුරු දෙදහස් දහය, දෙදහස් එකොළහ සහ දෙදහස් දොළහ වසරවල ඇය භාර දුන් වත්කම් සහ බැරකම් ප්‍රකාශනවල අඩංගුව නැති බව අල්ලස් කොමිසම අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් කියා සිටියේය.

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව නොවැම්බරයේ පැවැත්වීමට නියමිතව තිබෙන බැවින් ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග ක්‍රියාදාමය සාධාරණීකරණය කිරීමේ අරමුණින් ඇයට එරෙහිව අපරාධ පරීක්ෂණයක් ආරම්භ කිරීමේ උත්සාහයක් ඇතැයි නීතිවේදී එකමුතුව මීට පෙර නිකුත් කළ නිවේදනයකින් අනතුරු අඟවා තිබුණි.

ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව රාජ්‍ය මාධ්‍ය ඔස්සේ ද්වේශ සහගත ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කිරීම ආණ්ඩුවේ උත්සාහය පිලිබඳ කදිම ඉඟියක් බව ද නීතිවේදීන් නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.