ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඉන්දු ලංකා ගිවිසුම සමරා විරෝධතා

29 ජූලි 2013 අවසාන වරට යාවත්කාලීන කළේ 17:52 GMT

විසි හය වසරක් සපිරෙන ඉන්දු ලංකා ගිවිසුමට විරෝධය පා කොල්ලුපිටියේ දී සත්‍යග්‍රහයක් සහ මහනුවර දී අධිෂ්ඨාන පූජාවක් පැවැත්වුනි.

ජාතික සංවිධාන එකමුතුව කැඳවා තිබූ සත්‍යග්‍රහය පැවැත්වුණේ කොල්ලුපිටියේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට දීයි.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් පළාත් සභාවලට උරුම වූ බලතල අහෝසි කරන ලෙස ඉල්ලා සිටි විරෝධතා කරුවන් ඒවා හඳුන්වනු ලැබුවේ ‘බෙදුම්වාදී බලතල‘ වශයෙනි.

රැස්වූ පිරිස ඇමතූ දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති දොස්තර ගුණදාස අමරසේකර කියා සිටියේ ඉන්දු ලංකා ගිවිසුමට බලහත්කාරයෙන් අත්සන් ගනිමින් මීට වසර විසි හයකට පෙර ඉන්දියාව ශ්‍රී ලංකාවට එරෙහිව විශාලතම කුමන්ත්‍රණය සිදු කල බවයි.

රටට ‘මහා බරක්’

පළාත් සභා නිසා රට බෙදෙන අතර එය රටට මහා බරක් වී ඇති බවයි දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ ලේකම්, ජනාධිපති උපදේශක බෙංගමුවේ නාලක හිමියන් ප්‍රකාශ කළේ.

මේ අතරතුර, ජගත් සුමතිපාලගේ සභාපතිත්වයෙන් යුත් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සහ තවත් බෞද්ධ සංවිධාන කිහිපයක් එක් වී අධිෂ්ඨාන පූජාවක් සංවිධානය කර තිබුනේ මහනුවර ශ්‍රී දළදා භූමියේ දීයි.

මල්වතු පාර්ශවය නියෝජනය කරමින් වැඩ සිටි ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික පූජ්‍ය අලුත්ගම ධම්මානන්ද නායක හිමියන් කියා සිටියේ ‘පතුරු වශයෙන්’ නොව පළාත් සභා ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතු බවයි.

මහ මළුවේ නොවේ

අස්ගිරි පාර්ශවය වෙනුවෙන් සොළොස්මස්ථානාධිපති පූජ්‍ය වේඩරුවේ උපාලි නායක හිමි මේ අවස්ථාවට වැඩම කර සිටියෝ ය.

අධිෂ්ඨාන පාඨය කියවීම ඓතිහාසික මහ මළුවේ දී සිදු නො කරන ලෙසට ශ්‍රී දළදා මාලිගය ඉල්ලා සිටි හෙයින් ඒ සඳහා රැස් ව සිටි පිරිසට ශ්‍රී නාථ දේවාල විහාරස්ථාන භූමියට පැමිණීමට සිදු විය.

මෙහි දී බොදු බල සේනාවේ මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකාරක පූජ්‍ය ලියන්වල සාසනරතන හිමි ද පිරිස ඇමතූහ.