බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට අවොත් 'දේශපාලන රැකවරණ නෑ'

  • 26 ජූලි 2013
Advertisement campaing against boat people
බෝට්ටු චාරිකාව පිළිබඳව අනතුරු අඟවමින් ඕස්ට්‍රේලියාව මීට කලින් ද ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කළේය

නීති විරෝධී ආකාරයෙන් බෝට්ටු මගින් ඕස්ට්‍රේලියාවට ලඟා වන කිසිවෙකුට දේශපාලන රැකවරණ ලබා ගැනීමේ හැකියාවක් නැති බව දැනුම් දෙමින් ශ්‍රී ලංකාව පුරා ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කරන බව බලධාරීහු පවසති.

කොළඹ පිහිටි ඕස්ට්‍රේලියානු මහා කොමසාරිස් කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් ඇමතූ කොළඹට පැමිණ සිටින ඕස්ට්‍රේලියානු ආණ්ඩුවේ නිලධාරීන් සහ තානාපති නිලධාරීහු, සිංහල සහ දෙමළ භාෂා දෙකෙන්ම මෙම ප්‍රචාරක ව්‍යාපාරය දියත් කරන බව ද සඳහන් කළහ.

බෝට්ටු මගින් ඕස්ට්‍රේලියාවට ලඟා වන සියලු දෙනා පැපුවා නිව් ගිනියාවේ කඳවුරුවලට පිටත් කරන බවත් ඔවුන්ගේ දේශපාලන රැකවරණ ඉල්ලුම්පත් සලකා බලනු ලබන්නේ පැපුවා නිව් ගිනියා බලධාරීන් විසින් බවත් අගමැති කෙවින් රඩ් නිවේදනය කිරීමෙන් සතියකට පසුවයි, මේ ප්‍රචාරක ව්‍යාපාරය දියත් වන්නේ.

බෝට්ටු පෙරලීම

බෝට්ටුවලින් සිය රටට පැමිණෙන දේශපාලන රැකවරණ පතන්නන් සිය ජීවිත පරදුවට තබා කරන චාරිකාවෙන් ප්‍රතිඵලයක් නැති බව දැනුම් දීම සිය ප්‍රචාරක ව්‍යාපාරයේ අරමුණ බවයි, කොළඹ සිටින වැඩ බලන ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරිය සෝනියා කොපේ කියා සිටියේ.

"අපේ පණිවුඩය මේකයි. මේ භයානක බෝට්ටු ගමනෙන් කිසිම තේරුමක් නෑ, ඔබට ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙන්න අවස්ථාව ලැබෙන්නේ නෑ," යනුවෙන් ද ඇය සඳහන් කළාය.

මෑත දී එවැනි බෝට්ටු ගණනාවක් පෙරලීමෙන් විශාල පිරිසක් මරු මුවට පත් වූ අතර, එසේ පලා යන ඇතැමුන් ආර්ථික ප්‍රතිලාභ පතනවා විය හැකි නමුත් ජීවිතය බේරා ගැනීමේ අරමුණින් රටින් පලා යන බව තවත් සමහරුන් පවසන බවයි, කොළඹ සිටින බීබීසී වාර්තාකරු චාර්ල්ස් හැවිලන්ඩ් පවසන්නේ.

බෝට්ටු මගින් පලා යාමට උත්සාහ දරන පිරිස් අල්ලා ගැනීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් ගෙන් ලැබෙන සහයෝගය ඕස්ට්‍රේලියානු බලධාරීන්ගේ ප්‍රබල ප්‍රසාදයට ලක් විය.