මාස තුනකින් ඉන්ධන සහනාධාරය නෑ - ධීවරයෝ

  • 12 ජූලි 2013
Fishermen is Sri Lanka
කූපන් පත් වලට ඉන්ධන ලබා ගැනීමේ හැකියාවක් නැති බව ධීවරයෝ පවසති

ආණ්ඩුව පොරොන්දු වූ ඉන්ධන සහනාධාරය මාස තුනකින් ධීවරයන්ට ලබා දී නැති බව පවසන ධීවර නායකයෝ තෙල් සහනාධාරය ලබා දෙන තුරු උද්ඝෝෂණයේ යෙදෙන බව සපථ කරති.

සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය මාතර මිරිස්සේ දී දියත් කොට තිබුණු උද්ඝෝෂණයක දී එම චෝදනාව එල්ල කළ ධීවර නායකයෝ ධීවරයන්ට දුන් ප්‍රතිඥා ඉටු කිරීමට අපොහොසත් වී ඇති බවට ද ආණ්ඩුවට චෝදනා කරති.

තෙල් මිල පහත හෙලන තුරු හෝ සහනාධාරය අඛණ්ඩව ලබා දෙන තුරු බ්‍රහස්පතින්දා ගාල්ලෙන් ආරම්භ වූ උද්ඝෝෂණ ව්‍යාපාරය රට පුරාම දියත් කරන බවයි, සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ කියා සිටියේ.

සහන මිලට ඉන්ධන ලබා ගැනීම පිණිස ධීවරයන්ට කූපන් පත් නිකුත් කොට තිබෙන නමුත් එම කාඩ්පත් වලට ඉන්ධන ලබා ගැනීමේ හැකියාවක් නැති බවයි, උද්ඝෝෂණයට එක්ව සිටි ධීවරයන් ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්නට කියා සිටියේ.

ඉන්ධන මිල අඩු කරන මෙන් ඉල්ලා 2012 පෙබරවාරියේ දී හලාවත දී ධීවරයන් කළ උද්ඝෝෂණයකට පොලීසිය වෙඩි තැබීමෙන් ඇන්ටනි ප්‍රනාන්දු ධීවරයා මරු මුවට පත් වූ අතර, තවත් තිදෙනකුට බරපතල තුවාල සිදු විය.

ධීවරයන්ට ඉන්ධන සහනාධාර ලබා දෙන බවට ආණ්ඩුව පොරොන්දු වූයේ ඉන් අනතුරුවයි.