ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පළාත් සභා ‘දියාරු කිරීමට’ ඉන්දීය විරෝධය

5 ජූලි 2013 අවසාන වරට යාවත්කාලීන කළේ 11:49 GMT

පළාත් සභා බලතල වෙනසකට භාජනය කිරීමට ශ්‍රී ලංකාවේ රජය දරන උත්සාහය පිළිබඳව ඉන්දීය රජය දැඩි නොසතුට පළ කරයි

ලන්ඩනයේදී බීබීසී සංදේශය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලයේ නියෝජ්‍ය අමාත්‍ය වී නාරායනස්වාමි කියා සිටියේ රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුමක් වෙනසකට භාජනය කිරීම එක් රටකට තනිව කළ හැකි කාරියක් නොවන බවයි.

'ද්විපාර්ශවීය ගිවිසුමක් වෙනස් කිරීමේ අවශ්‍යතාවක් පැන නගින්නේ නම්, එය දෙරට එක්වී නැවත සාකච්ඡා කිරීම,’ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ක්‍රමවේදය බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

මහින්ද ගෙන් සහතිකයක්

දහතුන්වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ‘මුළුමනින්ම ක්‍රියාවේ යොදවන’ බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉන්දීය රජයට සහතිකයක් දී ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය නාරායනස්වාමි ප්‍රකාශ කරන්නේ.

මහින්ද රාජපක්ෂ පාලනය දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම පසෙක ලා ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම පළාත්වලට උරුම බලතල ‘දියාරු කරන්නට’ තැබූ පියවරක් බවට නියෝජ්‍ය අමාත්‍යවරයා චෝදනා කළේය.

කෙසේ වෙතත්, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසා තිබුනේ ඉන්දියාවට ‘කන් දිය යුතු නැති’ බවයි

“ඉන්දියාව හා ශ්‍රී ලංකාව රටවල් දෙකක්. ශ්‍රී ලංකාවට ආවේණික මේ ප්‍රශ්නය විසඳා ගත යුත්තේ ශ්‍රී ලාංකිකයන් විසින් මයි,” යනුවෙනි ශ්‍රී ලංකාවේ ඩේලි මිරර් පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකදී ආරක්ෂක ලේකම් වරයා කියා තිබුනේ.

දෙරටේම වගකීම

ගෝඨාභය රාජපක්ෂ ගේ ප්‍රකාශය බැහැර කරන ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලයේ නියෝජ්‍ය අමාත්‍යවරයා සංදේශයට කියා සිටියේ පළාත් වලට බලය බෙදීම ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගිවිසුමක් අනුව සිදු වුවක් නොවන බවයි.

“ස්වෛරී රාජ්‍ය දෙකක් අතර ගිවිසුමක් අත්සන් කළ විට එය ක්‍රියාත්මක කිරීමට දෙරටම බැඳී සිටින,” බව නියෝජ්‍ය අමාත්‍ය වී නාරායනස්වාමි වැඩිදුරටත් කියා සිටියේය.

තවදුරටත් කරුණු දැක් වූ ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලයේ නියෝජ්‍ය අමාත්‍යවරයා, පළාත් සභාවලට අයත් සියළු බලතල ලබා දීමෙහි ලා අයුතු බලපෑමක් කරන බවට ඉන්දියාවට එරෙහිව එල්ල වෙන චෝදනා බැහැර කළේය.