අගවිනිසුරුට එරෙහි පෙත්සම අගවිනිසුරු ගේ විභාගයට

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජුනි 11 අඟහරුවාදා - 12:45 GMT
Mohan Peiris taking oaths as new CJ

පූර්ණ විනිශ්චය මඬුල්ලක් පත් කරන මෙන් කරන ලද ඉල්ලීම අගවිනිසුරු මොහාන් පීරිස් ප්‍රතික්ෂේප කළේය

අගවිනිසුරුවරයාට එරෙහි පෙත්සමක් විභාග කිරීම පිණිස අගවිනිසුරුවරයා විසින්ම විනිසුරු මඬුල්ලක් පත් කිරීම නීතිවේදීන්ගේ අභියෝගයට ලක්වී තිබේ.

මොහාන් පීරිස් අගවිනිසුරු වරයා අඟහරුවාදා කළ නියමය යුක්ති සහගත නඩු විභාගයකට බාධාවක් පමණක් නොව නීති විරෝධී බවයි ඔවුන් පවසන්නේ.

නීතිවේදීන් අධිකරණය ඉදිරියේ එසේ තර්ක කළේ, අගවිනිසුරු මොහාන් පීරිස්ගේ පත්වීම බල රහිත කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කොට තිබූ පෙත්සමක් පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කරුණු දක්වමින්.

පෙත්සම විභාග කිරීම පිණිස විනිශ්චයකරුවන් දස දෙනකුගෙන් යුත් පූර්ණ විනිශ්චය මඬුල්ලක් පත් කරන්නැයි කරන ලද ඉල්ලීමක් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේය.

ස්වභාවික යුක්තිය

"වගඋත්තර කරු විසින්ම විනිශ්චය මණ්ඩලයක් පත් කිරීම ස්වභාවික යුක්තිය පිලිබඳ මූලධර්ම උල්ලංඝනය කිරීමක්"

පෙත්සම්කාර පාර්ශවයේ නීතිවේදී නාමල් රාජපක්ෂ

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් කරන ලද එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලද්දේ අග විනිසුරු මොහාන් පීරිස් විසින්.

ඒ වෙනුවට පස් දෙනකුගෙන් යුත් විනිසුරු මඬුල්ලක් ඔහු විසින් පත්කොට තිබුණි.

විනිසුරු මඬුල්ලක් පත් කිරීමේ බලය අගවිනිසුරුවරයාට අත පවත්නා හෙයින් ශ්‍රේෂ්ඨාධිකරණය සිය ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවයි, පෙත්සම්කාර පාර්ශවයේ නීතිවේදී නාමල් රාජපක්ෂ බීබීසී සංදේශයට කියා සිටියේ.

"වගඋත්තර කරු විසින්ම විනිශ්චය මණ්ඩලයක් පත් කිරීම ස්වභාවික යුක්තිය පිලිබඳ මූලධර්ම උල්ලංඝනය කිරීමක්," ලෙස නීතිවේදී රාජපක්ෂ විසින් හඳුන්වන ලදී.

පෙත්සම ජුලි 16 වැනි දින විභාග කිරීමට නියම කෙරිණ.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීත්‍යනුකුල නොවන බවට තීරණය කැරුණු දෝෂාභියෝග ක්‍රියාවලියකින් පහ කැරුණු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ ධුරයට ජනාධිපතිවරයා විසින් හිටපු නීතිපති මොහාන් පීරිස් පත් කරන ලද්දේ මේ වසර මුලදීයි.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.