මුලතිවු රක්ෂිතයේ මුස්ලිම් ජනතාව පදිංචි කිරීමට විරෝධය

  • 7 ජුනි 2013
Land mines being removed in the north (file photo)
බලහත්කාරයෙන් සිය ඉඩම් අත්පත් කරගනිමින් සිටින බව උතුරේ වැසියෝ ආණ්ඩුවට චෝදනා කරති

මුලතිවු ප්‍රදේශයේ රක්ෂිත කැලෑ හෙලිකොට එහි මුස්ලිම් ජනතාව පදිංචි කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීන්දුව අහෝසි කරන්නැයි ඉල්ලමින් ගොනු කළ පෙත්සමක් විභාග කිරීමට අධිකරණය විසින් තීන්දු කෙරේ.

මුලතිවු ප්‍රදේශවාසියකු ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව එම තීන්දුව ප්‍රකාශයට පත්කළ අභියාචනාධිකරණය, පෙත්සමට අදාළ විරෝධතා තිබේනම් ගොනු කරන මෙන් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු වග උත්තරකරුවන්ට නියෝග කළේය.

මුලතිවු ප්‍රදේශයේ රක්ෂිත කැලෑ හෙලිකොට එහි මුස්ලිම් ජනතාව පදිංචි කිරීමට නැවත පදිංචි කිරීම පිලිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය සූදානම් වන බව පැමිණිලිකරු සිය පෙත්සමේ සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ පවතින නීතියට අනුව ඉඩම් කච්චේරි පවත්වා ඉඩම් බෙදා දීමේ බලය පවතින්නේ දිසාපතිවරයාට පමණක් බවද පෙත්සමේ සඳහන්.

පෙත්සම අගෝස්තු පළමුවැනිදා කැඳවීමට අධිකරණය නියම කළේය.