මාතලේ සමූහ මිනීවල ගැන 'පුවත්පත් නිවේදන පළ කරන්න'

  • 31 මැයි 2013
Relatives of the disappeared in Matale (file photo)
ඉකුත් භීෂණ සමයේ මාතලේ ප්‍රදේශයෙන් දහසකට අධික පිරිසක් අතුරුදහන්ව සිටින බව නීතිවේදීහු පවසති

මාතලේ රෝහල් භූමියෙන් සොයාගත් සමූහ මිනීවල පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ පුවත්පත් නිවේදන පළ කරන්නැයි අධිකරණය නියෝග කළේය.

මාතලේ මහේස්ත්‍රාත්වරයා රහස් පොලීසියට එම නියෝගය කළේ මාතලේ රෝහල් භූමියෙන් සොයාගත් ඇටසැකිලි සම්බන්ධ පැමිණිල්ල විභාගයට ගත් අවස්ථාවේ.

1988-89 සමයේ අතුරුදහන් වූ 24 දෙනකු සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නැයි ඉල්ලමින් ඔවුන්ගේ ඥාතීන් අධිකරණය වෙත දිවුරුම් පෙත්සම් ඉදිරිපත් කොට තිබුණි.

පෙත්සම් ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ නීතිවේදීහු, අදාළ පෙත්සම සම්බන්ධයෙන් දන්නා තොරතුරු තිබේනම් ඉදිරිපත් වන මෙන් ඉල්ලා සිටිමින් පොලීසිය පුවත්පත් දැන්වීම් පළ කළ යුතු වුවත්, එය ඉටුකිරීමට පොලීසිය සමත් වී නැති බව අධිකරණයට දැනුම් දුන්හ.

1988-89 භීෂණ සමයේ මාතලේ ප්‍රදේශයෙන් දහසකට අධික පිරිසක් අතුරුදහන්ව සිටින බැවින් මෙම පරීක්ෂණ පිළිබඳව ඔවුන්ගේ ඥාතීන්ද දැනුවත් කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දුන් බවයි, අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීන් පවසන්නේ.

ඉන් අනතුරුව, භාෂා තුනෙන්ම පුවත්පත් නිවේදන නිකුත් කරන මෙන් අධිකරණය පොලීසියට දැනුම් දුන් බව නීතිවේදී නාමල් රාජපක්ෂ බීබීසී සංදේශයට පැවසීය.

මෙම පරීක්ෂණය සඳහා මැදිහත් වීමට අවසර දෙන්නැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය කළ ඉල්ලීමකටද අධිකරණයේ අනුමැතිය පළවිය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර