ජෝර්දානයේදී මියගිය කාන්තිමතී ගැන පරීක්ෂණයක් ඉල්ලයි

  • 27 මැයි 2013
Nagendran Kanthimathy's mother and reltives at the funeral
කාන්තිමතීට සිය දිවි නසා ගැනීමට කිසිදු හේතුවක් නොමැති බව ඇගේ මව අවධාරණය කරන්නීය

ජෝර්දානයේ ගෘහ සේවිකාවක ලෙසින් සේවය කරමින් සිටියදී මියගිය සිය දියණියගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන මෙන් ඇයගේ මව ඇතුළු වාලච්චේන ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.

ජෝර්දානයේ සේවය කළ 21 හැවිරිදි සිය දියණිය, නාගේන්ද්‍රන් කාන්තිමතී මේ මස හය වැනිදා වෙඩි වැදීමකින් මියගොස් ඇති බව පසුගිය 19 වැනි දින ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති නිලධාරීන් තමන්ට දැනුම් බවයි, ඇගේ මව නාගේන්ද්‍රන් මංගලේෂ්වරී පවසන්නේ.

නිවසේ තිබූ තුවක්කුවකින් කාන්තිමතී වෙඩි තබාගෙන සිය දිවි නසාගෙන ඇති බව තානාපති නිලධාරීන් දැනුම් දුන් බව ද මව පවසන්නීය.

ඉන් අනතුරුව පසුගිය 25 වැනි දින කාන්තිමතීගේ සිරුර දෙමාපියන්ට භාර දෙනු ලැබිණ.

මංගලේෂ්වරී ද මෑතක් වන තුරුම ජෝර්දානයේ සේවය කොට තිබෙන අතර, ඇය යලි ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන්නේ පසුගිය සැප්තැම්බර් 15 වැනි දින.

තමන් ජෝර්දානයෙන් පිටවීමට ප්‍රථම දියණිය හමුවූ බව පවසන මව, ඇයට සිය දිවි නසා ගැනීමට කිසිදු හේතුවක් නොමැති බව අවධාරණය කරන්නීය.

කාන්තිමතීගේ අවමංගල්‍ය උත්සවය අවසානයේ පෙළපාලියකින් වාලච්චේන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ගිය ඥාතීන් සහ ප්‍රදේශවාසීන් ඇයගේ මරණය සිදුවූයේ කෙසේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන මෙන් ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ඉල්ලා සිටින පෙත්සමක් ප්‍රාදේශීය ලේකම්වරයාට භාර දුන්හ.