ස්ත්‍රී දූෂකයන් රකින්නේ 'දේශපාලන බලවතුන්'

  • 23 මැයි 2013

කාන්තාවන්ට එරෙහි හිංසනය දිනෙන් දිනම වර්ධනය වනු විනා අඩුවීමක් නොමැති බව කාන්තා සංවිධාන ගණනාවක් ප්‍රකාශ කරති.

මේ අතුරින් ලිංගික ප්‍රචන්ඩත්වය සම්බන්ධයෙන් වැඩිම වගකීම දැරිය යුත්තේ දේශපාලකයන් බවයි ඔවුන් පවසන්නේ.

කාන්තාවන්ට එරෙහි හිංසනය පිටුදැකීම සඳහා රට පුරා මහජන අත්සන් ව්‍යාපාරයක් සංවිධානය කරමින් කොළඹ පැමිණි සංවිධාන සමග එක්වූ සමාජ සාධාරණත්වය උදෙසා කාන්තා ක්‍රියාකාරිත්වයේ කැඳවුම් කාරිනී පද්මා පුෂ්පකාන්ති කියා සිටියේ පසුගිය වසරේ පළමු මාස එකොළහ තුලදී ස්ත්‍රී දුෂණ එක්දහස් හයසියයකට වඩා වාර්තා වී ඇති බවයි.

වරද කරුවන් ට එරෙහිව නීතිමය පියවර ගැනීමක් සිදු වන්නේ නැති බව කියා සිටි ඇය ඊට හේතුව වශයෙන් දැක්වුයේ ඒ අපරාධ පිටුපස ඉන්නේ දේශපාලන බලවතුන් හා 'ගෝල බාලයන්' සිටීමයි.

සියවැනි ස්ත්‍රී දූෂණය

තංගල්ලේ දී සිදු කරන ලද ස්ත්‍රී දූෂණයකට චෝදනා ලබන ආණ්ඩු පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට නිදැල්ලේ හැසිරෙන්නට ඉඩදීම පද්මා පුෂ්පකාන්ති උදාහරණයක් ලෙසින් දැක්වූවාය.

'සිය වැනි ස්ත්‍රී දූෂණය සමරන තරමට දීන වූ' මන්ත්‍රීවරයකු ද කිසිදු දඬුවමක් සිටින බවද ඇගේ චෝදනාවක්.

ස්ත්‍රීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ඉබේ ඇතිවන්නක් නොව 'පවත්නා සමාජ ආර්ථික ක්‍රියාවලියේ දේශපාලනික බලපෑම මත සිද්ධ වන අමානුෂික කටයුත්තක් බව ඒත්තු ගැන්වීම' පෙත්සම් ව්‍යාපාරයේ අරමුණක් බව සමාජ සාධාරණත්වය උදෙසා කාන්තා ක්‍රියාකාරිත්වයේ කැඳවුම් කාරිණිය බීබීසී සංදේශයේ එල්මෝ ප්‍රනාන්දු සමග කියා සිටියේ.

ප්‍රධාන ආගම් හතරින්ම දැහැමි ගුණ වගාව සඳහා දෙසුම් පැවැත්වුවද 'ඒවා හිස් අහසේ පාවෙන්නට ඉඩ හරිමින් පුද්ගල අධ්‍යාත්මයට කිසිදු බලපෑමක් ඇති කොට නැතැයි'ද පද්මා පුෂ්ප කාන්ති කනගාටු වුවාය.

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය හෙළා දකිමින් රට පුරා අත්සන් එක් කොට ගන්නා පෙත්සම එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත භාර දෙන බවයි සංවිධායිකාවන් කියා සිටියේ.