විදුලි ගාස්තු නැංවීමට එරෙහි විරෝධතා 'ඉදිරියටත්'

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මැයි 21 අඟහරුවාදා - 14:44 GMT
General strike against electricity price hike

වැඩ වර්ජනය සාර්ථක ලෙස දියත් වුවත් රාජ්‍ය පාලිත මාධ්‍ය පමණක් නොව පෞද්ගලික ජනමාධ්‍ය පවා එය වාර්තා කිරීමේදී සත්‍යය හෙළී කිරීමට මැළි වූ බවට වෘත්තීය සමිති චෝදනා කරති

විදුලි ගාස්තු විරෝධී වර්ජනයේ අපේක්ෂිත අරමුණ සාර්ථක වූ බව වෘත්තීය සමිති නායකයන් පවසද්දී, එය සම්පූර්ණ අසාර්ථක ව්‍යායාමයක් වූ බව ආණ්ඩුව පවසයි.

රජයට තමන් දුන් සංඥාව හරියාකාර අවබෝධ වන්නට ඇතැයි විශ්වාස කරන බවයි, විදුලි ගාස්තුවට එරෙහි වැඩ වර්ජනයෙන් අනතුරුව වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුව ප්‍රකාශ කළේ.

එසේ නම් රජය කළ යුත්තේ වහාම විදුලිය ගාස්තු අඩු කිරීමට පියවර ගැනීම බව කමිටුවේ කැඳවුම්කරු කේ ඩී ලාල් කාන්ත කොළඹදී ජනමාධ්‍යවේදීන් අමතා කියා සිටියේය.

ආණ්ඩුවට බරපතල බලපෑමක් කිරීමට වර්ජකයන් සමත් වූ බව කී කැඳවුම්කරු ලාල්කාන්ත ප්‍රකාශ කළේ 'විදුලි ගාස්තු සංශෝධනය කළ බවට රජය කළ ප්‍රෝඩාව,' හෙළිදරව් කිරීමත් 'විදුලි මිල සම්බන්ධ සාකච්ඡාව සමාජය හමුවට ගෙන ඒමත්,' තම අරමුණ වූ බවයි.

එම අරමුණ සාර්ථක වූ බව ඔහු ප්‍රකාශ කළේය.

බහුජන සහභාගිත්වයකින්

රට පුරා රාජ්‍ය අංශයේත් පෞද්ගලික අංශයේත් විවිධ ක්ෂේත්‍ර වල වැඩ වර්ජනය සාර්ථක ලෙස දියත් වුවත් රාජ්‍ය පාලිත මාධ්‍ය පමණක් නොව පෞද්ගලික ජනමාධ්‍ය පවා එය වාර්තා කිරීමේදී සත්‍යය හෙළී කිරීමට මැළි වූ බවට වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුවේ කැඳවුම්කරු චෝදනාවක්ද නැගුවේය.

Protest against eletricity price hike

විදුලි ගාස්තු සංශෝධනය කළ බවට ආණ්ඩුව කළේ ප්‍රෝඩාවක් - වෘත්තීය සමිති

එම තොරතුරු එකම තැනකින් බෙදාහරින ලද ඒවා බවයි කේ ඩී ලාල් කාන්ත පවසන්නේ.

වැඩ වර්ජනයට සහභාගිවූ තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ භාණ්ඩාගාරික මුදිත කරුණාමුනි ප්‍රකාශ කළේ රජය විදුලි ගාස්තු පහල හෙලීමට පියවර නොගතහොත් ඉදිරියේ ඇතිවන විරෝධය බහුජන සහභාගිත්වයකින් යුතුව සිදුවනු ඇති බවයි.

වෙසක් සමය නිමාවීමෙන් පසු දැනුම් දීමට යෝජිත ක්‍රියාමාර්ග අතර 'බිල් නොගෙවන තත්වයක් දක්වා ජනතාව සංවිධානය කිරීම' ඇතුලත්වන බවයි වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුවේ කැඳවුම්කරු කේ ඩී ලාල් කාන්ත වැඩි දුරටත් කියා සිටියේ.

අගමැති කාර්යාලය

වැඩ වර්ජනයට සහාය පල කරමින් නිහඬ විරෝධතාවක් නුගේගොඩ දියත් කළ විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සමිති සම්මේලනය ප්‍රකාශ කළේ රජය 'නාස්තිකාර වියදම්' පියවා ගැනීමට විදුලිය ගාස්තු ඉහල නංවා ඇති බවයි.

Protest against electricity price hike

වැඩවර්ජනයට සහභාගි වූ සේවකයන්ගේ නම් ලැයිස්තු එවන මෙන් අගමැති කාර්යාලය දැනුම් දී තිබේ

අනෙක් දිනවලටත් වඩා රාජ්‍ය අංශයේ සේවකයන් සේවයට වාර්තා කිරීමක් දක්නට ලැබුන බවයි, වැඩවර්ජනය පිළිබඳව ප්‍රතිචාරය දක්වන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ අතර රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතනවලට ලිපියක් යොමු කරන අගමැති කාර්යාලය වැඩවර්ජනයට සහභාගි වූ සේවකයන්ගේ නම් ලැයිස්තු එවන මෙන් දැනුම් දී තිබිණ.

ශ්‍රී ලංකා නිදහස් සේවක සේවක සංගමයේ ආරියදාස පතිරණ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කොට තිබුණේ වර්ජනය හේතුවෙන් රටේ කිසිදු වරයක වැඩ කටයුතු අඩාළ නොවූ වග.

කෙසේ වෙතත් කොළඹ වරායේ වර්ජනයේ නිරත කම්කරු පිරිස් අමතා සමස්ත ලංකා පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ ප්‍රකාශ කළේ වැඩ වර්ජනය කඩාකප්පල් කිරීමට පාලනාධිකාරිය විවිධ මර්දනකාරී කටයුතු වල නිරත වූ බව.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.