ඒකාබද්ධ වැඩ වර්ජනයට ආණ්ඩුව බයවෙලා - වෘත්තීය සමිති

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මැයි 20 සඳුදා - 14:32 GMT
Protest against electricity price hike (file photo)

වැඩ වර්ජනයට දේශපාලන පක්ෂ පහළොවක සහාය පලවී ඇති බව වෘත්තීය සමිති පවසති

විදුලිය ගාස්තු ඉහල දැමීමට එරෙහිව දියත් කිරීමට යෝජිත ඒකාබද්ධ වැඩ වර්ජනයට ආණ්ඩු පාක්ෂිකයන්ද සහභාගි වෙතැයි රජය බියපත් වී සිටින බව වෘත්තීය සමිති නායකයෝ ප්‍රකාශ කරති.

අඟහරුවාදාට නියමිත වැඩ වර්ජනයට දේශපාලන පක්ෂ පහළොවක සහාය පලවී ඇති බවයි වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුව සඳුදා කොළඹදී මාධ්‍ය වේදීන් හමුවේ ප්‍රකාශ කළේ.

"එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ජාතික සේවක සංගමය ඇතුළු පුද්ගලික අංශයේ රාජ්‍ය අංශයේ වතු වැඩ වර්ජනය කරන," බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු කේ ඩී ලාල්කාන්ත කියා සිටියේය.

වැඩ වර්ජනයෙන් නැගෙන විරෝධය රජය නොතකා හළොත් 'විදුලි බිල නොගෙවීම දක්වා' සටන පෙරට ගෙනයන බවට කේ ඩී ලාල්කාන්ත අනතුරු ඇඟවීය.

'බියගුළු සහ බංකොලොත් ක්‍රියා'

"රජය පුන පුනා කියනවා අපි මේක අඩු කළා කියලා. හැබැයි වර්ජනය නවත්වන්නේ නැහැ"

කම්කරු අමාත්‍ය ගාමිණි ලොකුගේ

ක්ෂේත්‍ර ගණනාවක නිවාඩු අවලංගු කරන බවට චක්‍රලේඛ නිකුත් කරමින් රජය 'වැඩවර්ජනය අසාර්ථක කිරීමේ අසාර්ථක උත්සාහයක' නිරත වී සිටින බව ප්‍රකාශ කළේ ලංකා ගුරු සේවක සංගමයේ ලේකම් වරයායි.

රජයේ සේවක නිවාඩු අවලංගු කිරීම, විසි වැනිදාට ලබා දීමට නියමිත ගුරු වැටුප වර්ජනය පැවැත්වෙන දිනට කල් දැමීම හා 23 වැනිදාට පාසල් වල පැවැත්වීමට සුදානම් කොට තිබු ශීල ව්‍යාපාර 21 වැනි දාට නියම කිරීම රජය විසින් ගෙන ඇති පියවර කීපයකැ'යි සඳහන් කළ ලේකම් මහින්ද ජයසිංහ ඒවා හැඳින්වුයේ බියගුළු සහ බංකොලොත් ක්‍රියා ලෙසින්.

1980 මහා වැඩ වර්ජනය වැඩි වැටුප් දිනාගැනීම වෙනුවෙන් දියත් කළද මෙවර වර්ජනය නිදහස් වෙළෙඳ කලාප පොදු සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් විසින් හඳුන්වනු ලැබුයේ මුළු මහත් ජනතාවට බලපාන අයිතියක් දිනා ගැනීම වෙනුවෙන් කැරෙන්නක් ලෙසින්.

'යටි අදහසක්'

එහෙත් රජය වැඩ වර්ජනය නම් කළේ 'රට අස්ථාවර කිරීමේ අරමුණින් යුත් වෙනත් බලවේගයක්' විසින් සිදුකැරෙන 'කඩාකප්පල් කාරී ක්‍රියාවක්' ලෙසයි.

කොළඹදී මාධ්‍ය වේදීන් ඇමතු කම්කරු අමාත්‍ය වරයා ප්‍රකාශ කළේ වර්ජනය දිනයේ ජනතාව 'වැඩට උනන්දු කිරීමට' රජය පියවර ගනිමින් සිටින බවයි.

"රජය පුන පුනා කියනවා අපි මේක අඩු කළා කියලා. හැබැයි වර්ජනය නවත්වන්නේ නැහැ," කී අමාත්‍ය ගාමිණී ලොකුගේ විදුලි බිල් විරෝධී වර්ජනයේ 'මොකක් හරි යටි අදහසක් ඇති' හෙයින් ඊට ඉඩදිය නොහැකි බවට අනතුරු අඟවා සිටියේය.

අමාත්‍ය ගාමිණී ලොකුගේ සමග එක්ව මාධ්‍යවේදීන් ඇමතු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී එස් ඒ ඩී ජගත් කුමාර විදුලි ගාස්තු වැඩි වීම විපක්ෂය ශක්තිමත් කර ගැනීම සඳහා උපාය මාර්ගයක් කොට ගෙන ඇති බව ප්‍රකාශ කළේය.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.