පළාත් සභා මැතිවරණය පැවැත්වීමට බිය විය යුතු නෑ - මල්වතු මහ නාහිමි

  • 20 මැයි 2013
Thibbotuwawe Sri Sumangala Maha Nayake Thero
පළාත් සභා ක්‍රමය සහ විධායක ජනාධිපති ක්‍රමය රටට ඉතා අහිතකර බව මහ නාහිමියෝ පවසති

උතුරේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ සූදානමක් පවතින මොහොතක පළාත් සභා බලතල සංශෝධනය කිරීමට උත්සාහ නොගන්නැයි මල්වතු මහනායක හිමියෝ ශ්‍රී ලංකා ආණ්ඩුවට අනුශාසනා කරති.

තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල, මල්වතු පාර්ශ්වයේ මහා නායක හිමියෝ එම අනුශාසනාව කළේ සභානායක දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා නා හිමියන් බැහැ දැකීම පිණිස ඉරිදා මල්වතු මහා විහාරයට ගිය අවස්ථාවේදී.

පළාත් සභා ක්‍රමය, විධායක ජනාධිපති ක්‍රමය සහ මනාප ක්‍රමය ආදිය සමස්තයක් වශයෙන් රටට ඉතා අහිතකර බව පැවසූ මල්වතු මහ නාහිමියෝ, ඒ සියල්ල වෙනස් විය යුතු බව තමන්වහන්සේ විසින් රාජ්‍ය නායකයන්ට නිරන්තරයෙන්ම පෙන්වා දෙනු ලැබ තිබෙන බවද අමාත්‍යවරයාට දැනුම් දුන්හ.

කෙසේ වුවත්, විශේෂයෙන්ම උතුරේ මැතිවරණය පැවැත්වීමට සැරසෙන මේ මොහොතේ පළාත් සභා ක්‍රමය සංශෝධනය කිරීමට උත්සාහ කළහොත් එමගින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් අවාසිදායක වාතාවරණයකට මුහුණ දීමට සිදුවිය හැකි බව මහ නාහිමියන්ගේ අදහසයි.

ඉඩම්, පොලිස් සහ හමුදාව පාලනය කිරීම ඇතුළු සියලු බලතල ජනාධිපතිවරයා සතුව තිබෙන බැවින් මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව බිය නොවිය යුතු බවත් මහා නාහිමියන් ඇමතිවරයාට දැනුම් දුන් බවයි, මහනුවර ලංකාදීප මාණ්ඩලික වාර්තාකරු ජේ ඒ එල් ජයසිංහ බීබීසී සංදේශයට කියා සිටියේ.

කිසියම් සංශෝධනයක් අවශ්‍ය නම් මැතිවරණය අවසන් වූ පසුව ඒ පිළිබඳව සලකා බලන මෙන් ද මහා නාහිමියන් ආණ්ඩුවට උපදෙස් දී තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර