විජයග්‍රහණයට දිගින් දිගටම බාධා - ජනාධිපති

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මැයි 18 සෙනසුරාදා - 14:29 GMT

ජීවිත පරිත්‍යාගයෙන් දිනා ගත් දේශයේ එක බිම් අඟලක් උදුරා ගැනීමට හෝ බෙදීමට හෝ ඉඩ නොතබන බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රතිඥා දෙයි

අද (සෙනසුරාදා) පෙරවරුවේ කොළඹ ගාලු මුවදොර පැවති විජයග්‍රාහී සමරු උත්සවයට අමතමින් ජනාධිපතිවරයා තවදුරටත් ප්‍රකාශ කළේ රටේ ඒකීයභාවය රක ගැනීමට ඇප කැප වන බවයි.

කෙසේවෙතත් අනාගතයේදී අභියෝගවලට මුහුණ දීමට තම රජයට සිදුවන බවත් ජනාධිපතිවරයා ප්‍රකශ ප්‍රකාශ කළේය.

"කොටින්ට රට පාවාදෙන්න සටන් විරාම ගිව්සුම් ගහපු අය මේ ජාතියේ වීරත්වය අමතක කරවන්න නිතර උත්සාහ ගන්න බව අපි දන්නවා; උත්සාහ ගන්නවා, " ජනාධිපතිවරයා පැවසුවේය.

අතීත සිදුවීම්

අතීත සිදුවීම් ගැන ආවර්ජනය කරමින් එවක සිටි රාජ්‍ය නායකයන් රටේ ආරක්ෂාව ගැන මෙන්ම ඒකීය භාවය ගැන තැකීමකින් ක්‍රියා නොකළ බවට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා චෝදනා කළේය.

1977 දී හයෙන් පහක බලයක් ලබා ගනිමින් බලයට පත්වූ පළමු විධායක ජනාධිපතිවරයා කොටි ත්‍රස්තවාදී ජනතාවට පහර දෙන විට , තමන්ගේ ආරක්ෂාව තමන් විසින්ම සපයා ගත යුතු බව ප්‍රකාශ කළ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ සිහිපත් කළේය.

ඊලඟට බලයට පත්වූ ජනාධිපතිවරයා පොලිස් නිලධාරීන් හත් සියයකට යටත්වන ලෙස උපදෙස් දී ඔවුන් කොටින්ට පාවා දුන් බව පැවසූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඒ සියලු දෙනාම කොටින් විසින් ඝාතනය කල බව පැවසුවේය.

කොටින්ට අවිආයුධ ලබා දුන් එතුමා කොටින් විසින්ම මහ මගදී ඝාතතනය කළ බව කියා සිටි ජනාධිපතිවරයා,

"එල්ටීටීඊ නායකයාට වෙඩි නොවදින ඇඳුමක් දීල සාමයට අතින් අල්ල ගෙන කැඳවා ගෙන ආව ඉන්දියාවේ අගමැතිවරයාත් එදා තමිල් නාඩුවේදී මරල දැම්ම," ප්‍රකශ කළේය.

විදේශ රටවල් සමඟ එක්ව සටන් විරාම ගිව්සුම් අත්සන් තැබුවත් කොළඹ බෝම්බ පුපුරුවා හැරීම් නවතා දැමීමට ඔවුන් අසමත් වූ බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

විවිධ උපාය

විවිධ උපාය හා උපක්‍රම අත්හදා බලමින් මාතෘභූමිය පාලනය කිරීමට උත්සාහ ගත් අවස්ථාද තිබූ බව පැවසූ ජනාධිපතිවරයා,
"ලෝකෙ තිබිච්ච අරාබි වසන්තය, තව කාලෙකට ග්‍රීක යක්කු , තව කාලෙකට අධිකරණයේ ස්වාධීනත්වය, තව කාලෙකට ජන මාධ්‍ය නිදහස, මානව හිම්කම් කාලෙකට, හැම මාස හයෙන් හයට උත්තර බඳින්න" ආදී වශයෙන් විස්තර කළේය.

කෙසේ වෙතත් එල්ටීටීඊ සංවිධානය පරාජය කිරීම ඉතිහාසයෙන් කිසිදාකත් මකා දැමිය නොහැකි බව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අවධාරණය කළේය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.