යලි පදිංචිවූවන්ගේ ජීවිකාවට බිම් බෝම්බවලින් බාධා

අවසාන යාවත්කාලීන කිරීම :  2013 අප්‍රේල් 14 ඉරිදා - 15:29 GMT
Removing land mines in Sri Lanka

ව්‍යාපෘතිය සඳහා ලැබෙන විදේශ අරමුදල් වසරින් වසර කප්පාදුවීම බිම් බෝම්බ ඉවත් කිරීමේ ඉලක්ක හඹා යාමේදී මතුවී තිබෙන ප්‍රධාන බාධකයක්

සිය ගම්මානවල තිබූ බිම් බෝම්බ ඉවත් කොට යලි පදිංචිය සඳහා තමන්ගේම ඉඩම් ලබාදී තිබෙන නමුත් සුපුරුදු ජීවිකාව පවත්වාගෙන යාමට නොහැකිවීම හේතුවෙන් බරපතල ගැටලුවකට මුහුණ දී සිටින බව මුලතිවුවාසී ගම්වැසියෝ පවසති.

ඉඩම්වල බිම් බෝම්බ ඉවත් කළත්, කුඹුරුවලත් හේන්වලත්, වැවුවලත්, ආසන්න කැලයේත් තවමත් බිම් බෝම්බ ඉවත් කොට නොමැති හෙයින් මේ වැසියන්ට කුලී මෙහෙයට පමණක් සීමාවීමට සිදු වී තිබෙන බවයි, යලි පදිංචි වී සිටින මුලතිවු දිස්ත්‍රික්කයේ ගම්මාන 12 ක වැසියන් හමුවීමට ගිය දිනසේන රතුගමගේ වාර්තා කරන්නේ.

සිය ඉඩම්වලම යලි පදිංචිවීමට ලැබීම හේතුවෙන් මේ ගම්වැසියන් ප්‍රීති ප්‍රමෝදයට පත්ව ගයමින්, වයමින් සිටි නමුත් සංගීත භාණ්ඩවලින් කියා පෑ දුප්පත්කම ඔවුන්ගේ ජීවිතවලටද ඇතුල් වී තිබෙනු දක්නට ලැබුණු බව ඔහු පවසයි.

අරමුදල් කප්පාදුවීම

කෙසේ නමුත් උතුරු නැගෙනහිර පැවති බිම් බෝම්බ සියයට 90 ක්ම දැන් ඉවත් කොට තිබෙන බව පවසන මානුෂවාදී බිම් බෝම්බ ඉවත් කිරීමේ ජාතික ඒකකයේ අධ්‍යක්ෂ මොන්ටි රණතුංග, 2020 වනවිට සියල්ල ඉවත්කිරීම සිය සැලසුම බවද පවසයි.

මානුෂවාදී බිම් බෝම්බ ඉවත් කිරීමේ ජාතික ඒකකය, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ පාලනය වන ආයතනයක්.

එහෙත් ව්‍යාපෘතිය සඳහා ලැබෙන විදේශ අරමුදල් වසරින් වසර කප්පාදුවීම බිම් බෝම්බ ඉවත් කිරීමේ ඉලක්ක හඹා යාමේදී මතුවී තිබෙන ප්‍රධාන බාධකයක්.

බොහෝ ආධාර කරන රටවල් ක්‍රමයෙන් වෙනත් රටවල් කෙරෙහි අවධානය පළ කිරීම හේතුවෙන් සිය කාර්යභාරය නිසි පරිදි ඉටුකිරීම දුෂ්කර වී ඇති බව බිම් බෝම්බ ඉවත් කරන FSD ආයතනයේ හර්ෂී ගුණවර්ධන දිනසේන රතුගමගේට කියා සිටියාය.

මේ තත්ත්වය යටතේ යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීමට නොහැකි වීම, වාහන හා සේවකයන් කප්පාදු කිරීමට සිදුවීම සහ විශේෂඥ සහය අඩුවීම යන හේතූන් නිසා ඇස්තමේන්තු කළ කාලයට වඩා අඩුම තරමින් තවත් අවුරුදු දහයක්වත් ගතවනු ඇති බව ද එම කාර්යයේ නිරත ආයතන පවසති.

එහෙත් වර්තමානයේ නවීන යන්ත්‍ර සූත්‍ර භාවිත කරන බැවින් ඒ සඳහා එතරම් කාලයක් ගත නොවන බවයි, ඉන්දියාවේ සර්වත්‍රා සහ හොරිසෝන් යන සංවිධානවල ප්‍රධානී මහේන්ද්‍ර සිං පවසන්නේ.

කෙසේ නමුත් ඉතිරිව තිබෙන බොහෝ ප්‍රදේශවල මෙවැනි යන්ත්‍ර යොදා ගැනීමේ හැකියාවක් නොමැති බව මානුෂවාදී බිම් බෝම්බ ඉවත් කිරීමේ ජාතික ඒකකයේ අධ්‍යක්ෂ මොන්ටි රණතුංග ප්‍රකාශ කරයි.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.