ජාත්‍යන්තර ප්‍රජාවට උතුර ගැන අවබෝධයක් නෑ - නාමල් රාජපක්ෂ

31 මාර්තු 2013 අවසාන වරට යාවත්කාලීන කළේ 11:38 GMT

Namal Rajapaksa (C) with the President and the brother
ක්‍රීඩාවේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම දැනටමත් ආරම්භ කොට තිබෙන බව ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ට පුත්‍රයා පවසයි

යුද්ධයෙන් විනාශ වී තිබෙන උතුරු නැගෙනහිර පළාත් යලි සංවර්ධනය කිරීමේ වැඩපිලිවල සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාවට සහ විදේශගත ශ්‍රී ලාංකිකයන්ට නිසි අවබෝධයක් නොමැති බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසයි.

එසේ අවබෝධයක් සහිතව ජාත්‍යන්තර ප්‍රජාව "ප්‍රායෝගිකව කටයුතු කළේ නම්" පසුගියදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවක් ඉදිරිපත් නොවිය යුතුව තිබූ බව ඔහුගේ අදහසයි.

උතුරේ සංචාරයක නිරතව සිටියදී බීබීසී සංදේශය සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වූ මන්ත්‍රීවරයා, "බොහෝ දෙනෙක්" එම පළාත්වලට පැමිණ සැබෑ තත්ත්වය වටහා ගැනීමෙන් තොරව විවිධ චෝදනා එල්ල කරන බවද පැවසීය.

යුද්ධයෙන් විනාශ වී තිබෙන උතුරු නැගෙනහිර පළාත් යලි සංවර්ධනය කිරීම සඳහා විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ සහාය අවශ්‍ය බව ද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා බීබීසී යේ අසාම් අමීන් සමඟ ප්‍රකාශ කළේය.

උතුර, නැගෙනහිර යලි සංවර්ධනය කිරීමේ වැඩ පිළිවෙලේ කොටසක් වශයෙන් ක්‍රීඩාවේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම දැනටමත් ආරම්භ කොට තිබෙන බවද ඔහු පැවසීය.