
සංචාරක ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රමාණවත් පියවර නොගන්නා බවට ජාතික සංඝ සම්මේලනය ඉන්දියාවට චෝදනා කරයි
ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂුන් වහන්සේලා දෙනමක් දකුණු ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්තයේ ස්ථාන දෙකකදී පහර කෑමට ලක්වීමට විරෝධය පාන ජාතික සංඝ සම්මේලනය තමිල්නාඩුවට තහංචි පැනවිය යුතු යයි ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.
චෙන්නායි අගනුවරදී සහ ත්‍රිචි නගරයේදී දින තුනක් ඇතුලත එම ප්‍රහාර එල්ල වූ අතර, එක් ප්‍රහාරයක් සම්බන්ධයෙන් චෝදනා ලබන තිදෙනෙකු මේ වනවිට පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කොට තිබේ.
සංචාරක ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉන්දියාව ප්‍රමාණවත් පියවර නොගන්නා බවට චෝදනා කරන ජාතික සංඝ සම්මේලනය, ශ්‍රී ලංකාව ඉන්දියාවේ යටත් විජිතයක් හෝ ප්‍රාන්ත රාජ්‍යයක් නොවන බව ද ප්‍රකාශ කරයි.
'අධිරාජ්‍යවාදී රටවල් සමඟ'
එහි සභාපති රජවත්තේ වප්ප හිමියන් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් කියා සිටියේ, තමිල්නාඩුවේ සිට ශ්‍රී ලංකාවට ගෙනෙන සියලුම භාණ්ඩ ද නතර කළ යුතු බවයි.
කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් ඉන්දීය ජාතිකයන් මේ දක්වාම ශ්‍රී ලංකාවට සංක්‍රමණය වෙමින් සිටින බව පවසන ජාතික සංඝ සම්මේලනය ජාතික සංවිධායක බත්තරමුල්ලේ දයාවංශ හිමියෝ, ඒ කවුරුන් හෝ ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට හෝ අනන්‍යතාවයට බාධා කරන්නේ නම් එයට එරෙහිව හඬ නැගීමට නොපකිලෙන බව ද පැවසූහ.
කෙසේ නමුත් බෞද්ධයන්ට දඹදිව වන්දනා කිරීම අත් හැර දැමිය නොහැකි බව එහිමියෝ අවධාරණය කරති.
සම්මේලනයේ ලේකම් දොඩන්ගොඩ සාරානන්ද හිමියෝ අදහස් දක්වමින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම "ලංකාවට විරුද්ධව" ඉදිරිපත් කිරීමට සැරසෙන අවස්ථාවේ "අධිරාජ්‍යවාදී රටවල්" සමඟ එක් වී ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කරන බවට ඉන්දීය මධ්‍යම ආණ්ඩුවට චෝදනා කළහ.








