
එක්සත් ජනපදය ඉදිරිපත් කොට තිබෙන සංශෝධන පූර්ව කෙටුම්පතේ "සැර බාල කිරීමක්" ලෙසිනුයි, ජනමාධ්‍ය විග්‍රහ කොට තිබුණේ
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට පසුගිය සතියේ භාර දෙන ලද ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවට ඇමෙරිකා එක්සත් ජනපදය විසින් සංශෝධන ගණනාවක් එකතු කොට තිබේ.
මානව හිමිකම්, විනිශ්චයකරුවන්ගේ සහ නීතිවේදීන්ගේ ස්වාධීනත්වය, භාෂණයේ නිදහස, නිදහසේ රැස්වීමේ අයිතිය වැනි ක්ෂේත්‍රයන් සම්බන්ධ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන්ට "බාධාවකින් තොරව" ශ්‍රී ලංකාවට පැමිණීමට ශ්‍රී ලංකා ආණ්ඩුව අවසර දිය යුතු බව සඳහන් යෝජනාව ඔවුන්ට "අවස්ථාව සැලසීම" දක්වා වෙනස් වීමත්, එම විශේෂ නියෝජිතයන්ගේ ක්ෂේත්‍රයන් සම්පූර්ණයෙන්ම ඉවත් කොට තිබීමත් අවසාන කෙටුම්පතේ විශේෂ වෙනසක්.
එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන්ට "බාධාවකින් තොරව" ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර දීමේ වගන්තිය වෙනත් රටවල් සම්බන්ධයෙන්ද පූර්වාදර්ශයක් වනු ඇති බවට ඉන්දියාවේ බරපතල අවධානය පළ වී තිබුණු බව ජනමාධ්‍ය වාර්තා කොට තිබුණි.
එමෙන්ම ලබන වසරේ මාර්තු මාසයේදී මානව හිමිකම් මණ්ඩලය ශ්‍රී ලංකාව සම්බන්ධ "විශේෂ සැසිවාරයක්" පැවැත්විය යුතු බවට වූ සඳහන "සාකච්ඡාවක්" යනුවෙන් සංශෝධනයට ලක්වී තිබේ.
'සැර බාල කිරීමක්'
එම සංශෝධන පූර්ව කෙටුම්පතේ "සැර බාල කිරීමක්" ලෙසිනුයි, ඇතැම් ජනමාධ්‍ය විග්‍රහ කොට තිබුණේ.

යෝජනාව සම්බන්ධයෙන් ඉන්දියාව හෝ ඇමෙරිකාව සමඟ සාකච්ඡා නොකළ බව අමාත්‍ය සමරසිංහ සංදේශයට පැවසීය
මේ වසරේ සැප්තැම්බර් මාසයේ උතුරු පළාතේ පළාත් සභා මැතිවරණ පැවැත්වීමට ශ්‍රී ලංකා ආණ්ඩුව ගෙන ඇති තීරණය පිළිබඳව ප්‍රසාදය පළ කරමින් සංශෝධිත කෙටුම්පතට වගන්තියක් එක් කොට තිබෙන අතර, පසුගිය සිකුරාදා සම්මත වූ සර්ව වාරික සමාලෝචනය සම්බන්ධයෙන් ඉන්දියාව නිකුත් කළ නිවේදනයේද එම වගන්තිය ඇතුලත්ව තිබුණි.
අධිකරණය, සංහිඳියාව සහ ජීවනෝපායයන් යලි ආරම්භ කිරීම යන ක්ෂේත්‍රයන්හි තවත් බොහෝ දේ කළ යුතු බව පෙන්වා දෙන අතරම, එම ක්‍රියාවලියේදී "සිවිල් සමාජය සහ සුළු ජාතීන් ඇතුළු සියලු ප්‍රදේශවාසී ජනකොටස්වල පූර්ණ සහභාගිත්වයේ වැදගත්කම" නව කෙටුම්පතේ අවධාරණය කොට තිබේ.
උගත් පාඩම් සහ සංහිඳියාව පිලිබඳ කොමිසමේ වාර්තාව සහ නිර්දේශ ශ්‍රී ලංකාවේ ජාතීක සංහිඳියාව සඳහා දායක විය හැකි බව සඳහන් වගන්තියක් ද සංශෝධිත කෙටුම්පතේ ඇතුලත්.
ඉන්දියාවේ බලපෑම
බලය බෙදා හැරීම ඇතුළු සංහිඳියාව සඳහා අත්‍යවශ්‍ය ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කරන මෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව "දිරිමත් කරන" බවට තිබූ සඳහන "ඉල්ලා සිටිනු ලැබේ" යනුවෙන් සංශෝධනයට ලක් වී තිබේ.
"මානව හිමිකම් උල්ලංඝන පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමේ වගකීම ශ්‍රී ලංකාවේ ආණ්ඩුවටම පැවරීම මේ දක්වා සිදුවූ මානව හිමිකම් උල්ලංඝන වලට ගොදුරු වූවන්ට කරන අවමානයක්"
JDS සංවිධානයේ කැඳවුම්කරු රෝහිත භාෂණ
ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය සහ ජාත්‍යන්තර මානුෂවාදී නීතිය ශ්‍රී ලංකාවේදී උල්ලංඝනය වූ අවස්ථා පිලිබඳ චෝදනා සම්බන්ධයෙන් "ස්වාධීන සහ විශ්වසනීය පරීක්ෂණයක්" පවත්වන මෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටීම සංශෝධිත කෙටුම්පතේ ඇතුලත් නව වගන්තියක්.
කෙසේ නමුත් එම චෝදනා සම්බන්ධයෙන් "ස්වාධීන සහ විශ්වසනීය ජාත්‍යන්තර පරීක්ෂණයක්" අවශ්‍ය බවට මානව හිමිකම් පිලිබඳ මහ කොමසාරිස්වරියගේ වාර්තාවෙන් ඉදිරිපත් කෙරෙන නිර්දේශය සැලකිල්ලට ගනු ලබන බවත් යෝජනාවේ සඳහන්.
සඳුදා සභාගත කෙරුණු යෝජනා කෙටුම්පත මුල් යෝජනාවේ සිට විශාල පියවරක් පසුපසට තැබීමක් ලෙසිනුයි, ඇම්නස්ටි ජාත්‍යන්තරය විග්‍රහ කරන්නේ.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බවට මුල් කෙටුම්පතේ වූ සඳහන ඉවත් කොට ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පරීක්ෂණයක් පැවැත්විය යුතු බව අලුත් කෙටුම්පතට ඇතුලත් කොට තිබෙන බවයි, ඉන්දියාවේ සිටින ඇම්නස්ටි ජාත්‍යන්තරයේ ප්‍රධාන විධායක ජී ආනන්දපද්මනාභන් පවසා තිබුනේ.
'අවමානයක්'
මෙය ඉන්දියාවේ බලපෑම මත සිදුවූවක් බව පැහැදිලිවම දක්නට ලැබෙන බව ද ඔහු පවසයි.
ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස උල්ලංඝනය වීම පිලිබඳව තවත් ජාත්‍යන්තර ජනමාධ්‍ය සංවිධාන පහක් හා එක්ව සර්ව වාරික සමාලෝචනය සඳහා වාර්තාවක් ඉදිරිපත් කළ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ හෙවත් JDS සංවිධානයේ කැඳවුම්කරු රෝහිත භාෂණ නව සංශෝධනය හැඳින්වූයේ දියාරු කිරීමක් ලෙසින්.
සංශෝධනය 'ශ්‍රී ලංකාවේ රජයට කරන ලද ඉතා මිත්‍රශීලී ආයාචනයකැ'යි ප්‍රකාශ කළ ඔහු ඉදිරි දින දෙකේදී තවත් වෙනස්කම් බලාපොරොත්තු විය හැකි බව ද සඳහන් කළේය.
මානව හිමිකම් උල්ලංඝන හා මානුෂික නීතිය කඩකිරීම පිළිබඳව "ස්වාධීන හා විශ්වසනීය" පරීක්ෂණයක් පැවැත්වීමේ වගකීම ශ්‍රී ලංකාවේ ආණ්ඩුවටම පැවරීම JDS කැඳවුම්කරු විසින් හඳුන්වා දෙන ලද්දේ, "මේ දක්වා සිදුවූ මානව හිමිකම් උල්ලංඝන වලට ගොදුරු වූවන්ට කරන අවමානයක්," ලෙසින්.








