ශ්‍රී ලංකාවේ 'වර්ග සංහාරය' ගැන පරීක්ෂණයක් අවශ්‍යයි - සෝනියා ගාන්ධි

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මාර්තු 19 අඟහරුවාදා - 16:18 GMT
Sonia Gandhi

ශ්‍රී ලංකාවේ සිදුවූ සාහසික අපරාධ ලෙසින් විග්‍රහ කළ දේ සම්බන්ධයෙන් විශ්වසනීය පරීක්ෂණයක් පැවැත්විය යුතු බව සෝනියා ගාන්ධි පවසන්නීය

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට එරෙහිව කරන ලදැයි පැවසෙන යුද අපරාධ හෙලා දැකීමට අපොහොසත් වූ බවට මධ්‍යම ආණ්ඩුවට චෝදනා කරමින් තමිල්නාඩුවේ ද්‍රාවිඩ මුන්නේත්‍ර කලහම් (DMK ) පක්ෂය පාලක සභාගයෙන් ඉවත්වන බව නිවේදනය කිරීමෙන් අනතුරුව ප්‍රකාශයක් කළ කොන්ග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි, ශ්‍රී ලංකාවේ 'වර්ග සංහාරය' ගැන පරීක්ෂණයක් අවශ්‍ය බව කියා සිටියාය.

කොන්ග්‍රස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් අමතමින් ඒ බව කියා සිටි සෝනියා ගාන්ධි, ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ඉරණම පිලිබඳ සිය වේදනාව සහ සංවේගයද පළ කළ බව අගමැති කාර්යාලයේ නාරායනසාමි අමාත්‍යවරයා බීබීසී දෙමළ සේවයට පැවසීය.

ආණ්ඩුවේ අමාත්‍ය තනතුරු දරන DMK සාමාජිකයන් පස් දෙනා ද අමාත්‍ය පදවිවලින් ඉල්ලා අස්වීමට නියමිත අතර, ලබන බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව සම්මත වන තුරු ඉවසා සිටීමට DMK පක්ෂයට අවස්ථාව තිබුණු බවයි, එම ඉල්ලා අස්වීම පිළිබඳව ප්‍රතිචාරය පළ කරමින් අමාත්‍ය නාරායනසාමි සඳහන් කළේ.

ප්‍රථම වතාව

DMK මන්ත්‍රීවරුන් 18 දෙනාම කොන්ග්‍රස් පක්ෂයේ නායකත්වයෙන් යුත් පාලක සභාගයට සහාය නොදීමට තීරණය කළ නමුත් සභාග ආණ්ඩුව කඩා නොවැටෙන බවයි, මුදල් අමාත්‍ය පී චිදම්බරම් කියා සිටියේ.

Karunanidhi with supporters

ශ්‍රී ලංකාවේ යුද්ධයේදී වර්ග සංහාරයක් සිදුවූ බව පැවසෙන වගන්තියක් මානව හිමිකම් මණ්ඩල යෝජනාවට ඇතුලත් කළ යුතු බව කරුණානිධිගේ ප්‍රධානම ඉල්ලීමක්

විදේශ ප්‍රතිපත්තිය මත පදනම් වූ කරුණක් මත මෑත ඉතිහාසයේදී ඉන්දීය ආණ්ඩුවක් කඩා වැටීමේ අනතුරට මුහුණ දුන් ප්‍රථම වතාව මෙය බව වාර්තාකරුවෝ පෙන්වා දෙති.

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා විසින් කරන ලදැයි පැවසෙන යුද අපරාධ හෙලා දකිමින් ඉන්දීය පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කළ යුතු බව DMK නායක මුතුවේල් කරුණානිධි සභාග ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කොට තිබෙන ශ්‍රී ලංකාව පිලිබඳ යෝජනාව සම්බන්ධයෙන් ඉන්දීය ආණ්ඩුවේ ස්ථාවරයද ඔහුගේ දැඩි විවේචනයට ලක්විය.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ යුද්ධයේදී මහා ජන සංහාරයක් සිදුවූ බව පැවසෙන වගන්තියක් මානව හිමිකම් මණ්ඩල යෝජනාවට ඇතුලත් කළ යුතු බව ඔහුගේ ප්‍රධානම ඉල්ලීමක්.

දෙමළ ජනතා අභිලාෂයන්

තම පක්ෂය කළ කිසිදු ඉල්ලීමකට පාලක කොන්ග්‍රස් පක්ෂයෙන් යහපත් ප්‍රතිචාරයක් පළ නොවූ හෙයින්, ඉන්දියාවේ පවතින්නේ දෙමළ ජනතා අභිලාෂයන් නියෝජනය කරන ආණ්ඩුවක් නොවන බවයි, DMK නායක කරුණානිධි චෙන්නායි නුවරදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ.

දෙමළ ජනතාවගේ ගැටළු සම්පූර්ණයෙන්ම නොතකා හැරීමේ ආණ්ඩුවේ ක්‍රියාදාමය දැඩිව හෙලා දකින බව ද ඔහු පැවසීය.

බලයේ රැඳී සිටීම පිණිස ඉන්දීය ආණ්ඩුවට මන්ත්‍රීවරුන් 271 ක ගේ සහාය අවශ්‍ය අතර, DMK පක්ෂය ඉවත්වීමෙන් අනතුරුවත් පාලක සභාගයට මන්ත්‍රීවරුන් 280 ක ගේ සහාය හිමිවේ.

කෙසේ නමුත් පාලක සභාගය බලයේ රැඳී සිටින්නේ තවත් ප්‍රාදේශීය පක්ෂ ගණනාවක ආධාරය මත බැවින්, ඇතැම් පනත් සම්මත කර ගැනීම ආණ්ඩුවට දුෂ්කර විය හැකි බව විශ්ලේෂකයන්ගේ මතයයි.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.