තමිල්නාඩුවේ පක්ෂ දෙකෙන්ම මධ්‍යම ආණ්ඩුවට විරෝධය

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මාර්තු 18 සඳුදා - 16:24 GMT
TN Chief Minister Jayalalithaa

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් මණ්ඩලයේදී ගත යුතු පියවර පිළිබඳව ඉන්දීය රජය අනුගමනය කළ පිළිවෙත 'බිය උපදවන්නක්' බව මහ ඇමතිනිය පවසන්නීය

ඉන්දීය අගමැති මන්මෝහන් සිං හට දැඩි ස්වරයෙන් ලිපියක් ලියන තමිල්නාඩුවේ මහ ඇමතිනී ජයලලිතා ජෙයරාම් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේදී ගත යුතු පියවර පිළිබඳව ඉන්දීය රජය මේ තාක් අනුගමනය කළ පිළිවෙත මහත් බිය උපදවන්නක් බව ප්‍රකාශ කරන්නීය.

ඉකුත් දින කීපය තුලදී අගමැති වරයාත් විදේශ අමාත්‍ය වරයාත් කළ ප්‍රකාශ මහ ඇමතිනිය එම ලිපියෙන් හඳුන්වා තිබුනේ සැක උපදවන සහ වසන් කිරීම් සහගත ඒවා ලෙසින්.

මේ අතර ඉන්දීය සභාග රජයේ විශාලත්වයෙන් දෙවැනි තැන ගන්නා ද්‍රාවිඩ මුන්නේත්‍ර කලහම් (DMK) පක්ෂයේ නායක මුතුවේල් කරුණානිධි ඉරිදා චෙන්නායි නුවරදී මාධ්‍ය වේදීන් හමුවේ අනතුරු අඟවා සිටියේ, ජිනීවා සමුළුවේ ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවට වර්ග සංහාරක චෝදනා ඇතුලත් කිරීමට ඉන්දීය රජය පියවර නොගන්නේ නම් තමන් ආණ්ඩුවෙන් ඉවත් වන බව.

අලුත්ම වාතාවරණය සම්බන්ධයෙන් DMK පක්ෂය සමඟ සාකච්ඡා පැවැත්වීම පිණිස මධ්‍යම ආණ්ඩුවේ අමාත්‍යවරුන් තිදෙනෙක් සඳුදා චෙන්නායි නුවරට පැමිණ සිටියහ.

භික්ෂූන් වහන්සේට ප්‍රහාර

මුදල් අමාත්‍ය පී චිදම්බරම්, ආරක්ෂක අමාත්‍ය ඒ කේ ඇන්තනි සහ සෞඛ්‍ය අමාත්‍ය නබි අසාඩ් අද රාත්‍රිය වන තුරුම DMK නායක මුතුවේල් කරුණානිධි සමඟ සාකච්ඡා පැවැත්වූ බව එන්ඩීටීවී ඉන්දීය රූපවාහිනිය වාර්තා කරයි.

Finance Minister P Chidambaram (file photo)

පී චිදම්බරම්, ඒ කේ ඇන්තනි සහ නබි අසාඩ් අමාත්‍යවරුන් රාත්‍රිය වන තුරුම DMK නායක කරුණානිධි සමඟ සාකච්ඡා පැවැත්වූ බව වාර්තා වේ

ඉන්දියාව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ඇමෙරිකාව භාර දී තිබෙන යෝජනාවට පක්ෂව ඡන්දය දීම පමණක් ප්‍රමාණවත් නොවන බව DMK පක්ෂයේ මතයයි.

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට එරෙහිව මහා ජන සංහාරයක් සිදු වූ බව පවසන එම පක්ෂය ඒ සම්බන්ධයෙන් නිශ්චිත කාලයක් ඇතුලත ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටිමින් ඉන්දියාව එම යෝජනාවට සංශෝධනයක් ඉදිරිපත් කළ යුතු බව අවධාරණය කරයි.

කෙසේ නමුත් ඇමරිකානු යෝජනාවේ අවසාන කෙටුම්පත දකින තුරු තීරණයක් ගැනීම දුෂ්කර බව ඉන්දීය ආණ්ඩුවේ ස්ථාවරය වී තිබෙන්නේ. අවසාන යෝජනා කෙටුම්පත අද රාත්‍රියේ බෙදා හරිනු ඇති බව ද එන්ඩීටීවී නාලිකාව වාර්තා කරයි.

ශිෂ්‍ය උද්ඝෝෂණ

මේ අතර, ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ඉරණම පිළිබඳව තමිල්නාඩුව පුරා දිගටම උද්ඝෝෂණ පැවැත්වෙද්දී චෙන්නායි අගනුවර දුම්රිය ස්ථානයකදී ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් ප්‍රහාරයකට ලක් විය.

ශ්‍රී ලාංකික සංචාරකයන් පිරිසක් සමඟ පැමිණි භික්ෂූන් වහන්සේට දුම්රියට නැගුනු මැරවරයෙක් එලව එළවා පහර දෙන ආකාරය වීඩියෝ පටවල සටහන් වී තිබිණ.

මෑත දින කිහිපය තුල තමිල්නාඩුවේදී ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේ නමකට ප්‍රහාර එල්ල වූ දෙවැනි අවස්ථාව මෙයයි. චෙන්නායි අගනුවරට කිලෝ මීටර 350 ඈතින් පිහිටි ත්‍රිචි නගරයේදී තවත් හිමි නමක් ප්‍රහාරයට ලක්වුණේ.

මේ ප්‍රහාර පිළිබඳව බීබීසී දෙමළ සේවය සමඟ අදහස් දැක්වූ ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ තමිල්නාඩු ශාඛාවේ නියෝජ්‍ය ලේකම් මහේන්ද්‍රන්, එය දැඩිව හෙලා දුටුවේය.

ශ්‍රී ලංකාවේ සිදුවූ බව පැවසෙන යුද පරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ ස්ථාවරයයි.

මේ අතර, ශ්‍රී ලංකා ආණ්ඩුවට එරෙහිව තමිල්නාඩුව පුරාම විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් උද්ඝෝෂණ පවත්වමින් සිටි අතර, ඒ හේතුවෙන් චෙන්නායි නුවර අන්නා විශ්ව විද්‍යාලය දින නියමයකින් තොරව වසා දමා ඇති බව ද වාර්තාවේ.

ඉන්දියාවේ ඉහලම පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් වන ඉන්දීය තාක්ෂණික ආයතනයේ ශිෂ්‍යයන්ද උද්ඝෝෂකයන් අතරට එක්වීම අසාමාන්‍ය සිදුවීමක් බව වාර්තාකරුවන්ගේ මතයයි.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.