බ්‍රිතාන්‍ය ජාතිකයාගේ ඝාතකයන් නිදහසේ හැසිරෙනවා - සොහොයුරා

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මාර්තු 8 සිකුරාදා - 14:45 GMT
Khuram Shaikh

ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ට අමාත්‍යවරුන් කිහිප දෙනකුම තමා මුණගැසීම ප්‍රතික්ෂේප කළ බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සයිමන් ඩන්චුක් පවසයි

මීට මාස 15 කට ඉහත දී තංගල්ලේ සංචාරක නිකේතනයක දී පිහියෙන් ඇන, වෙඩි තබා මරා දැමුණු බ්‍රිතාන්‍ය පුරවැසියකු වන කුරාම් ෂයික්ගේ ඝාතකයන් නිදැල්ලේ හැසිරෙමින් සිටින බව ඔහුගේ සොහොයුරා පවසයි.

ගාසා තීරයේ සේවය කරමින් සිටි ජාත්‍යන්තර රතු කුරුසියේ කුරාම් ෂයික් මරා දමනු ලැබුවේ සිය රුසියානු මිතුරිය වික්ටෝරියා අලෙක්සන්ද්‍රෝව්නා සමගින් ශ්‍රී ලංකාවේ නිවාඩුවක් ගත කරමින් සිටියදී.

ඝාතනයේ එක් ප්‍රධාන සැකකරුවෙක් වන තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ ඇතුළු සැකකරුවන් අට දෙනෙක් ඇප මත නිදහස ලබා සිටිති.

රොච්ඩෙල් පාර්ලිමේන්තු මන්ත්‍රී සයිමන් ඩන්චුක් සමඟ ශ්‍රී ලංකාවට ගොස් සිටින කුරාම් ෂයික්ගේ සහෝදරයා, නසර් ෂයික් මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ සිය සොහොයුරාගේ ඝාතනය සම්බන්ධයෙන් යුක්තිය ඉටු වන තුරු තම ප්‍රයත්නය අත් නොහරින බවයි.

පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව

2011 නත්තල් දිනයේ සිදු වූ ඝාතනයෙන් අනතුරුව 2012 ජනවාරියේදී තමන් ශ්‍රී ලංකාවට පැමිණෙන විට පරීක්ෂණයට අදාළ ප්‍රමාණවත් සාක්ෂි සහ තොරතුරු තිබුණු බව පවසන ඔහු, ඝාතනයෙන් මාස 15 ක් ගතවීත් පරීක්ෂණවල ප්‍රගතියක් දක්නට නොමැති බව සඳහන් කරයි.

සිය සංචාරයේදී ජ්‍යෙෂ්ට අමාත්‍යවරුන් කිහිප දෙනකුම මුණ ගැසීමට තමා උත්සාහ කළ නමුත් ඔවුන් සියලු දෙනා එය ප්‍රතික්ෂේප කළ බව පවසන පාර්ලිමේන්තු මන්ත්‍රී සයිමන් ඩන්චුක්, සිය සංචාරයේදී තමන්ට හමුවීමට අවස්ථාවක් ලැබුනේ නියෝජ්‍ය අමාත්‍ය එම් එල් ඒ එම් හිස්බුල්ලා පමණක් බව ද පැවසීය.

මේ තත්ත්වය යටතේ කුරාම් ෂෙයික් ඝාතනය සම්බන්ධ පරීක්ෂණවල ප්‍රගතියක ලැබෙන තුරු ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව වර්ජනය කරන මෙන් තමන් යලි යලිත් ඉල්ලා සිටින බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

බ්‍රිතාන්‍ය මහ රැජින ද මෙම සමුළුවට සහභාගි වීමට නියමිත බැවින් මේ සිදුවීම පිළිබඳව ඇයට ලිපියකින් දැනුම් දෙන බව ද බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එංගලන්ත සහ වේල්සයේ නීතිවේදීන්ගේ සංගමය වෙනුවෙන් අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගය විමර්ෂණය කළ රාජ නීතිඥ ජෙෆ්රි රොබට්සන්ගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව විසින්ද පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව වර්ජනය කළ යුතු බවට බ්‍රිතාන්‍ය ආණ්ඩුවට නිර්දේශ කරනු ලැබ තිබේ.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.