හමුදාවේ හේතු දැක්වීම විමසිය යුතුයි - කෙහෙළිය

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මාර්තු 7 බ්‍රහස්පතින්දා - 19:02 GMT

උතුරේදී යුද පීඩිතයන් හමුවූ එක්සත් ජනපද නිලධාරියා

ඥාතීන් අතුරුදහන් වූ උතුරේ දෙමළ වැසියන් සිය ගණනක් කොළඹට පැමිණීම වලක්වා ලමින් රජයේ සන්නද්ධ සේනා විසින් සිදු කළ බාධා පිළිබඳව වාර්තාවක් ලබා ගත යුතුව ඇතැයි ශ්‍රී ලංකාවේ රජය ප්‍රකාශ කරයි.

ඇමරිකා එක්සත් ජනපදය බදාදා නිකුත් කළ නිවේදනයකින් ශ්‍රී ලංකාවේ බලධාරින්ගෙන් ඉල්ලා තිබුනේ නිදහසේ ඔබ මොබ යාමේ රටවැසියන්ගේ අයිතිය තහවුරු කරන ලෙසයි.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විවේචන මතු කොට තිබෙන වකවානුවක වවුනියාවේදී රජයේ හමුදා කළ බාධාවේ බලපෑම අහිතකර නොවේදැ'යි මාධ්‍යවේදියකු කළ විමසීමකට පිළිතුරු දෙමින් රජයේ ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා බ්‍රහස්පතින්දා කියා සිටියේ ඒ පිළිබඳව විමසිය යුතු බවයි.

අවංකව කළ ප්‍රකාශයක්ද?

උතුරේ සිට අගනුවර බලා මගට බට අතුරුදහන් වුවන්ගේ ඥාතීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් වවුනියාවෙන් දකුණට ඒම නවතා ලූ බවයි රජයේ ආරක්ෂක බලධාරීන් කියා තිබුනේ.

රජයේ ආරක්ෂක බලධාරීන්ගේ හේතු දැක්වීම 'අවංකව කළ ප්‍රකාශයක්ද නැතහොත් වෙනත් අවශ්‍යතාවක් මත සිදු වූ දෙයක්දැ'යි සොයා බැලිය යුතුව ඇති බව රඹුක්වැල්ල අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

වවුනියාවෙන් දකුණට ඒම වලකනු ලැබූ දෙමළ වැසියන්

කෙසේ වෙතත් එක්සත් ජනපද දුත මණ්ඩල නිලධාරියෙක් බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේ රජය අතුරුදහන් වුවන්ගේ ඥාතීන්ට තහංචි පැනවීම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වන වගට තවත් සාධකයක් බවයි.

ජිනීවා යෝජනා

මේ එක් සිද්ධියක් වෙතත්, එය 'පැහැදිලි උදාහරණයක්' වන බවයි උතුරේ සංචාරයක නිරත වෙමින් කොළඹ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දේශපාලන නිලධාරී ජේකබ් චිරිකි (Jacob Chriqui) ජනමාධ්‍යවේදීන් හා බහුජන ක්‍රියාධාරීන් හමුවේ වවුනියාවේදී කියා සිටියේ.

කිලිනොච්චි, මුලතිව් හා වවුනියා දිස්ත්‍රික්ක වලදී එක්සත් ජනපද නිලධාරියාගෙන් යුද පීඩිත දෙමළ ජනතාව ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ වැරදි කරුවන්ට එරෙහිව පියවර ගත හැකි යෝජනා ජිනීවාවේ පැවැත්වෙන මානව හිමිකම් සමුළුවේදී සම්මත කොට ගත යුතු බවයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.