
තමන්ගේ නැතිවූ නෑසියන් සොයා දෙන මෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටීම සඳහා වව්නියාවේ සිට කොළඹ බලා එමින් සිටි පිරිසකට අවහිර කිරීම සම්බන්ධයෙන් තමන්ගේ අවධානය යොමු වී ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය කියා සිටී.
පුරවැසියන් හට නිදහසේ ගමන් කිරීමට ඇති අයිතිය තහවුරු කරන්නැයි ඇමරිකා එක්සත් ජනපදය බදාදා නිකුත් කළ නිවේදනයකින් ශ්‍රී ලංකාවේ බලධාරින් ගෙන් ඉල්ලා ඇත.
බස් රථ වලට එල්ල වූ ගල් මුල් ප්‍රහාර පිළිබඳව තොරතුරු ලැබීමෙන් අනතරුව උද්ඝෝෂණයක් පැවැත්වීම සඳහා වව්නියාවේ සිට කොළඹ බලා එමින් සිටි පිරිස නතර කළ බව බී බී සී ය කළ විමසුමකට පිළිතුරු දුන් පොලිස් ප්‍රකාශක බුද්ධික සිරිවර්ධන පොලිස් අධිකාරි වරයා කියා සිටියේය.
වව්නියාවේ දී නතර කරනු ලැබූ පිරිස කියා සිටියේ හමුදාව සහ පොලිසිය තමන්ගේ බස් රථ වටකොට ගමන නතර කළ බවයි.කොළඹ පැමිණීමට ඉඩ නොලද පිරිස වව්නියාවේදී උද්ඝෝෂණයක් පැවැත්වුහ
කොළඹ දී පැවති විරෝධතාවට එක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් කියා සිටියේ තමන් සාමකාමී සහ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පැවැත්වීමට උත්සහාහ කළ මෙම විරෝධතාව කඩාකප්පල් කිරීමට බලධාරින් කටයුතු කළ ආකාරය ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට අපකීර්තිය ගෙන දෙන බවයි.
මේ අතර කොටි සංවිධානයේ ක්‍රියාකාරකම් හේතුවෙන් මියගිය සහ අතුරුදහන් වුවන් ගේ එකමුතුව කොළඹ දී උද්ඝෝෂණයක් පවත්වමින් කියා සිටියේ එක්සත් ජාතීන් ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් වරිය වන නවී පිල්ලේ ඒක පාර්ශවීයව ශ්‍රී ලංකාවේ යුද්ධය හේතුවෙන් සිදුවූ මරණ සහ අතුරුදහන්වීම් ගැන කටයුතු කිරීම අසාධාරණ බවයි.








