
නඩු පැවරීමකින් තොරව වසර තුනක් මුළුල්ලේ සැකකරු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින බව ඔහුගේ නීතිවේදියා පවසයි
අත් අඩංගුවේ සිටියදී වධ හිංසාවලට ලක් කරන ලද බව පැවසෙන එල්ටීටීඊ සැකකරුවෙකු ප්‍රතිකාර ලබාදීම සඳහා වහාම කොළඹ ජාතික රෝහලට ඇතුලත් කරන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
අගවිනිසුරු ප්‍රමුඛ ත්‍රි-පුද්ගල විනිසුරු මඬුල්ලක් බන්ධනාගාර අධිකාරිවරයාට එම නියෝගය කළේ පොලිස් ත්‍රස්ත මර්ධන කාර්යාංශයේ අත් අඩංගුවේ සිටියදී වධ හිංසා පැමිණවීම හේතුවෙන් තුවාල ලැබූ බව පවසන සුරේෂ් අරුල්ප්‍රගාසම් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
නඩු පැවරීමකින් තොරව වසර තුනක් මුළුල්ලේ තම සේවාදායකයා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින බව පෙත්සම වෙනුවෙන් කරුණු දැක්වූ නීතිවේදියා පැවසීය.
අත් අඩංගුවේ සිටියදී වධ හිංසාවලට ලක්වීම හේතුවෙන් පෙත්සම්කරුගේ ගෙල ප්‍රදේශයේ ආබාධයක් හටගෙන තිබෙන බව පැවසූ නීතිවේදියා, එම ආබාධයට බන්ධනාගාර රෝහලේදී නිසි ප්‍රතිකාර නොලැබෙන අතර, ඔහු ජාතික රෝහලට ඇතුලත් කරන මෙන් කරන ඉල්ලීම බන්ධනාගාර නිලධාරීන් ප්‍රතික්ෂේප කරන බව ද අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් කියා සිටියේය.







