අගවිනිසුරු ශිරාණි නිර්දෝෂයි - එංගලන්ත නීතිවේදීහු කියති

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මාර්තු 1 සිකුරාදා - 15:01 GMT
CJ Shirani Bandarananayaka

දෝෂාභියෝගය විභාග කළ ආණ්ඩුවේ අමාත්‍යවරුන් හත් දෙනාම පක්ෂග්‍රාහී බව ද වාර්තාව සඳහන් කරයි

ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද දෝෂාභියෝග චෝදනා සියල්ලට අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක නිවැරදිකාරිය බව එංගලන්තය සහ වේල්සයේ නීතිවේදීන්ගේ සංගමය විසින් පවත්වන ලද පරීක්ෂණයක නිගමණය වී තිබේ.

අගවිනිසුරුවරිය පදවියෙන් පහ කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව කටයුතු කළේ දිවි නැගුම පණත් කෙටුම්පත ව්‍යවස්ථානුකූල නොවන බවට ඇගේ සභාපතිත්වයෙන් යුත් විනිසුරු මඬුල්ලක් දුන් තීන්දුව සම්බන්ධයෙන් පලි ගැනීමේ අරමුණින් බව ද පරීක්ෂණ වාර්තාව සඳහන් කරයි.

මේ තත්ත්වය යටතේ දෝෂාභියෝග චෝදනා විභාග කළ අමාත්‍යවරුන් හත් දෙනා සහ දෝෂාභියෝග චෝදනාවලට අත්සන් තැබූ මන්ත්‍රීවරුන් 117 දෙනාට බ්‍රිතාන්‍යයේ සංචාරය කිරීම සඳහා වීසා බලපත්‍ර නිකුත් කිරීමෙන් වලකින මෙන් රාජ නීතිඥ ජෙෆ්රි රොබට්සන් විසින් පවත්වන ලද පරීක්ෂණ වාර්තාව බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.

'බැංකු ගිණුම් තහනම් කරන්න'

එමෙන්ම එම ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන්ගේ නමින් බ්‍රිතාන්‍යයේ පවතින බැංකු ගිණුම් තහනම් කිරීම පරීක්ෂණ වාර්තාවේ තවත් යෝජනාවක්.

රාජ නීතිඥ ජෙෆ්රි රොබට්සන් මානව හිමිකම් ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර කීර්තියට පත් ජ්‍යෙෂ්ඨ නීතිවේදියෙක්.

අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගය, ඇගේ සාධාරණ තීන්දු හේතුවෙන් කෝපයට පත් ආණ්ඩුව සහ ජනාධිපති රාජපක්ෂගේ පවුලේ සාමාජිකයන් අයගෙන් පලි ගැනීමේ අරමුණින් කරන ලද සම්පූර්ණ දෝෂ සහගත ක්‍රියාදාමයක් බව රාජ නීතිඥවරයාගේ නිගමණයයි.

එය විභාග කළ ආණ්ඩුවේ අමාත්‍යවරුන් හත් දෙනාම පක්ෂග්‍රාහී බව ද වාර්තාවේ සඳහන්.

මේ තත්ත්වය යටතේ ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයෙන් නෙරපා හරින ලෙස නිර්දේශ කරන රාජ නීතිඥ ජෙෆ්රි රොබට්සන්, ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගි වීමෙන් බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජින වැළකිය යුතු බව ද අවධාරණය කරයි.

බ්‍රිතාන්‍ය රැජින සමුළුවට සහභාගි වුවහොත් එමගින් රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රචාරක ව්‍යාපාරයට රාජකීය අනුග්‍රහයද ලැබෙනු ඇති බවයි, මානව හිමිකම් පිලිබඳ ජ්‍යෙෂ්ට නීතිවේදීවරයාගේ වාර්තාව සඳහන් කරන්නේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.