
ශ්‍රී ලංකාව සම්බන්ධ අලුත් යෝජනාවට ශ්‍රී ලංකා ආණ්ඩුවේද සහයෝගය පළ වනු ඇතැයි එක්සත් ජනපදය බලාපොරොත්තු පළ කරයි
ශ්‍රී ලංකා රජය විසින්ම පත් කරන ලද උගත් පාඩම් හා සංහිඳියාව පිලිබඳ කොමිසමේ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමට සහ ජනවාර්ගික අර්බුදයට මුල්වූ කරුණු විසඳීමේ ක්‍රියාදාමයකට රජය අවතීර්ණ වන තුරු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ කාර්ය භාරය අවසන් නොවන බව ඇමෙරිකා එක්සත් ජනපදය පවසයි.
එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් එස්තර් බ්‍රිමර් ඒ බව ප්‍රකාශ කළේ ජිනීවා නුවරදී ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සැසිවාරය අමතමින්.
පසුගිය සැසිවාරයේදී සම්මත කර ගැනුනු යෝජනාව ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන එඩිතර ස්වේච්ඡා සංවිධාන වලට තම කටයුතු කර ගෙන යාමේ ධෛර්යය ලබා දීමට ඉවහල් වූ බව ප්‍රකාශ කළ ඇය, මෙවර නව යෝජනාවක් සභා ගත කිරීමට එක්සත් ජනපදය බලාපොරොත්තු වන බවද කියා සිටියාය.
ඒ මගින් ශ්‍රී ලංකාව තුල මානව හිමිකම් තත්ත්වය වර්ධනය වීමේ ප්‍රවණතාවයන් අධීක්ෂණය කිරීමට ජාත්‍යන්තර ප්‍රජාවට ඇති ඉඩකඩ සහතික කර ගැනීම මෙන්ම මෙතෙක් නොවිසඳුණු සංහිඳියාව වෙත යොමුවන්නා වූ ක්‍රියාදාමයන් සහ එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් පියවර ගැනීමේ කටයුතු වලට සහාය දැක්වීමට ඉඩකඩ ලබා ගැනීම තම බලාපොරොත්තුව බවද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වරිය ප්‍රකාශ කළාය.
මෙම නව යෝජනාව ක්‍රියාත්මක වීම ශ්‍රී ලංකා රජයේ සහයෝගයෙන් ඉටු වන්නා වූ ක්‍රියාදාමයක් වනු ඇති බව තම අපේක්ෂාව වනු ඇති බවද එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් එස්තර් බ්‍රිමර් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සැසිවාරය අමතමින් ප්‍රකාශ කළාය.








