දෙමළ රැඳවියන් 'තවමත් අත් අඩංගුවේදී දූෂණය කරනවා'

අවසාන යාවත්කාලීන කිරීම :  2013 පෙබරවාරි 26 අඟහරුවාදා - 14:48 GMT
Sri Lanka security forces

දෙමළ ජාතිකයන්ට වධ දීමේ අරමුණින් පොලීසිය මෙන්ම ආරක්ෂක හමුදාද ලිංගික අතවර කිරීම් සහ දූෂණය කිරීම්වල යෙදී ඇති බව මානව හිමිකම් සංවිධානය පවසයි

දෙමළ කොටි සංවිධානයේ සාමාජිකයන් බව සැක කරන දෙමළ ජාතිකයන්ට වධ දීමේ අරමුණින් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සංවිධානාත්මකව ඔවුන්ට ලිංගික අතවර කිරීම් සහ දූෂණය කිරීම්වල යෙදී ඇති බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි.

එල්ටීටීඊ යට එරෙහිව යුද්ධය පැවති සමයේ දෙමළ රැඳවියන් දූෂණය කිරීම සහ ඔවුන්ට ලිංගික අතවර කිරීම යුද උපායයක් වශයෙන් භාවිත කළ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා, යුද්ධය හමාර වීමෙන් අනතුරුවත් දිගටම එවැනි අපරාධවල යෙදුනු බවයි, වාර්තාවේ සඳහන් වෙන්නේ.

2006 සිට 2012 වසර දක්වා කාලය ඇතුලත ලිංගික අතවරයට ලක් වූ කාන්තාවන් සහ පුරුෂයන් 75 දෙනෙකුගේ සාක්ෂි ඇසුරින් මේ වාර්තාව සැකසුනු බවයි, හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ බ්‍රිතාන්‍ය ශාඛාවේ අධ්‍යක්ෂ ඩේවිඩ් මෙපැම් බීබීසී සංදේශයට කියා සිටියේ.

චෝදනා කිරීමත් 'අපරාධයක්'

දූෂණයට සහ ලිංගික අතවරයට ලක් වූ පුද්ගලයන්ගේ සාක්ෂිවල නිරවද්‍යතාවය පිළිබඳව කිසියම්ම හෝ සැකයක් තිබුනේ නම් තමන් කිසිසේත්ම එවැනි සාක්ෂි වාර්තාවට ඇතුලත් නොකරන බව පවසන අධ්‍යක්ෂවරයා, මෙහිදී අවධානයට ගත යුතු ප්‍රධානම කරුණ මෙවැනි අපරාධ තවමත් සිදුවෙමින් පැවතීම බව ද සඳහන් කරයි.

ඉතාමත්ම අමානුෂික අන්දමින් දින ගණනාවක් හෝ ඇතැම් විට සති ගණනාවක් මුළුල්ලේ ආරක්ෂක හමුදා විසින් මෙම රැඳවියන් ට වධ දී තිබෙන බව වාර්තාවෙන් අනාවරණය වන බව සංදේශයට කියා සිටි ඩේවිඩ් මෙපැම්, ඇතැම් අවස්ථාවල පුද්ගලයන් ගනනාවක්ම එක් වී ඔවුන් දූෂණය කොට තිබෙන බවත්, එමෙන්ම දුම් වැටිවලින් පිළිස්සීම, සමහරුන්ගේ ඔළුවට ප්ලාස්ටික් බෑග් දමා ඉන් අනතුරුව පෙට්‍රල් වත් කිරීම වැනි වධ බන්ධනවලට ඔවුන් ලක් කොට තිබෙන බවත් සඳහන් කළේය.

රැඳවියන් මෙසේ වධ බන්ධනවලට ලක් කොට තිබෙන්නේ ආරක්ෂක හමුදා විසින් පවත්වාගෙන යනු ලබන නිල හෝ නිල නොවන රැඳවුම් කඳවුරුවල බව පවසන හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ බ්‍රිතාන්‍ය ශාඛාවේ අධ්‍යක්ෂ ඩේවිඩ් මෙපැම්, එසේ වධ දුන් බොහෝ පුද්ගලයන් ආරක්ෂක හමුදාවල තමන්ගේ කාර්ය භාරය පිළිබඳව රැඳවියන් ඉදිරියේම අදහස් පළ කොට තිබෙන බවත් සංදේශයට කියා සිටියේය.

මේ චෝදනා පිළිබඳව බීබීසී යේ කොළඹ වාර්තාකරු චාර්ල්ස් හැවිලන්ඩ් විමසීමක් කළ අවස්ථාවේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල එම සියලු චෝදනා ප්‍රතික්ෂේප කළේය.

එය සම්පූර්ණ අසත්‍ය පමණක් නොව එවැනි චෝදනා එල්ල කිරීමද අපරාධයක් බවත් අමාත්‍යවරයා පැවසීය.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.