
අමෙරිකාව විසින් මානව හිමිකම් සම්බන්ධ එක්සත් ජාතීන්ගේ මණ්ඩලයට ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතයි
ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ සහ එහි තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ වෘත්තීය දක්ෂතා පිළිබඳව තමන්ට විශ්වාස බව ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති කාර්යාලය ඒ බව පවසන්නේ සඳුදා ආරම්භ වූ මානව හිමිකම් සම්බන්ධ එක්සත් ජාතීන්ගේ මණ්ඩල සැසිවාරයට සහභාගි වන ශ්‍රී ලංකාවේ දූත පිරිස පිළිබඳව සන්ඩේ ටයිම්ස් පත්‍රයේ පලවූ වාර්තාවක් දැඩිව ප්‍රතික්ෂේප කරමින්.
විශේෂයෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය නියෝජනය කරමින් මෙම සැසිවාරයට සහභාගි වන දූත පිරිස තෝරාගැනීම පිණිස තානාපතිවරයා කළ ඉල්ලීමක් ආණ්ඩුව ප්‍රතික්ෂේප කළ බව පවසන සන්ඩේ ටයිම්ස් පුවත්පත, ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවේ "සැර බාල" කර ගැනීම පිණිස එක්සත් ජාතීන්ගේ ඇමෙරිකානු තානාපතිවරිය සමඟ ඔහු පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වී ඇති බව ද පවසයි.
ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ නායකත්වය රවිනාථ ආරියසිංහට පැවරීමට තීරණය කොට තිබූ ශ්‍රී ලංකාව ආණ්ඩුව අමාත්‍ය මහින්ද සමරසිංහට අවසාන මොහොතේ ඒ වගකීම පැවරුවේ මේ තත්ත්වය යටතේ බවයි පුවත්පත පවසන්නේ.
කෙසේ වුවත් එම වාර්තාව ප්‍රතික්ෂේප කරන ජනාධිපති කාර්යාලය, මානව හිමිකම් සම්බන්ධ එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවක් ඉදිරිපත් වූ විට එයට ප්‍රතිචාර දැක්වීමට ආරියසිංහ ඇතුළු කාර්ය මණ්ඩලයට හැකියාව තිබෙන බවට ආණ්ඩුවට විශ්වාස බව අවධාරණය කරයි.







