
ස්වභාවික රක්ෂිතයක් වන සමනල අඩවියේ මෙවැනි ඉදිකිරීමක් නීති විරෝධී බව පරිසර සංරක්ෂණ භාරය ප්‍රකාශ කරයි
සමනල කඳු මුදුන ආශ්‍රිතව හෙලිකොප්ටර් ගොඩ බෑමේ අංගනයක් ඉදිකිරීමට බලධාරීන් සැලසුම් කරන බවට පරිසර සංවිධානයක් චෝදනා කරයි.
රත්නපුර සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා මෙම කාර්යය සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කරන බවයි, පරිසර සංරක්ෂණ භාරය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
විශේෂයෙන්ම ජනාධිපතිවරයා ඇතුළු රටේ ප්‍රභූවරුන් සිරිපා වන්දනාව සඳහා පැමිණෙන අවස්ථාවල ඔවුන්ට ගමන් පහසුකම් සැලසීම මෙම හෙලිකොප්ටර් අංගනය ඉදිකිරීමේ අරමුණ බව ද එහි සඳහන්.
යුනෙස්කෝ සංවිධානය විසින් ලංකාවේ දෙවන ස්වභාවික ලෝක උරුම ප්‍රදේශය ලෙසින් ප්‍රකාශයට පත් කොට තිබෙන මාධ්‍ය කඳුකරයේ පිහිටි සමනල කන්දේ මෙවැනි ඉදිකිරීමක් ලෝක උරුම සම්මුතිය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කිරීමක් බව ද සජීව චාමිකර ගේ අත්සනින් යුතුව නිකුත් කොට තිබෙන නිවේදනයේ දැක්වේ.
"ලංකාවට ආවේනික පක්ෂි විශේෂ 33 ම වාර්තා වන වනාන්තර පද්ධති දෙක අතරින් එකක් වන්නේ සමනල අඩවියයි. තෙත් කලාපයේ වැඩිම අලි - ඇතුන් ගහනයක් ජීවත් වන එකම ස්ථානය වන්නේ ද මේ ප්‍රදේශයේය," යනුවෙන් ද නිවේදනයේ සඳහන් වේ.
එමෙන්ම සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පණතට අනුව ස්වභාවික රක්ෂිතයක් වන සමනල අඩවියේ මෙවැනි ඉදිකිරීමක් නීති විරෝධී බව ද පරිසර සංරක්ෂණ භාරය ප්‍රකාශ කරයි.








