තෙල් මිල ඉහල දැමීම ආර්ථිකයට තර්ජනයක් - ජවිපෙ

අවසාන යාවත්කාලීන කිරීම :  2013 පෙබරවාරි 24 ඉරිදා - 17:34 GMT
Vijitha Herath, MP

"තෙල් සංස්ථාවේ ලාභය සහ අනෙකුත් සේවා ගාස්තු සමඟ පෙට්‍රල් ලීටරයක මිල පෙට්‍රල් ලීටරයක් රුපියල් 125 කට වෙළඳපොළට නිකුත් කරන්න පුළුවන්"

රජය විසින් ඉන්ධන මිළ ඉහල දමා ඇත්තේ ඊට වඩා අඩු මිලකට ඩීසල්, පෙට්‍රල් හා භූමිතෙල් විකිණීමට හැකියාව තිබියදී බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි.

මේ තත්ත්වය යටතේ රජය තෙල් මිල ඉහල දැමීමත් සමග රටේ ආර්ථිකයට විශාල තර්ජනයක් එල්ලවී ඇති බව ද ජවිපෙ ප්‍රකාශ කරයි.

"ලංකාවට ගොඩ බාන පෙට්‍රල් ලීටරයක සාමාන්‍ය මිල රුපියල් 84.18 ක්. ඒ සඳහා අය කරන පැල් ගාස්තු වශයෙන් 14.21ක්, වරාය ගාස්තු 2.31ක්, නිෂ්පාදන ගාස්තු රුපියල් 25ක් එකතු වූ විට පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 115.71 ක්," බවයි විජිත හේරත් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයා මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේ .

"තෙල් සංස්ථාවේ ලාභය සහ අනෙකුත් සේවා ගාස්තු සමඟ පෙට්‍රල් ලීටරයක් රුපියල් 125 කට වෙළඳපොළට නිකුත් කරන්න පුළුවන්."

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල

රටේ ආර්ථිකය යහපත් තත්ත්වයක පවතින හෙයින් ණය නොගන්නා බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළත් සැබවින්ම සිදුවී ඇත්තේ ශ්‍රී ලංකාවේ රජය ඉකුත් නොවැම්බරයේ සිට අපේක්ෂා කළ ඩොලර් කොටි සියයක ණය දීම ජාත්‍යන්තර මූල්‍ය බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම බවද ඔහු පැවසීය.

විදුලි බල මණ්ඩලයේත් ඛණිජ තෙල් සංස්ථාවේත් ආර්ථික ක්‍රියාකාරිත්වය පිළිබඳව සිය වාර්තාවේ සඳහන් කරන මේ මස කොළඹ පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස, වියදම් පියවා ගැනීමට හැකි වන ආකාරයේ මිල ක්‍රමයක් හඳුන්වා දීමේ අවශ්‍යතාව යෝජනා කොට ඇති බවද විජිත හේරත් මන්ත්‍රී වරයා පෙන්වා දෙයි.

අද සිදුවෙමින් පවතින්නේ එකී උපදෙස් ක්‍රියාත්මක වීම බවයි ඔහු පවසන්නේ.

ඉදිරි මාසයේ පටන් විදුලිය සඳහා පාරිභෝගිකයාට ගෙවන්නට සිදුවන මිල ඉහල යනු ඇතැයිද ඔහු අනතුරු අඟවයි.

ආණ්ඩුවෙන් සම්පාදනය කරනු ලබන බලශක්තිය සඳහා ජනතාවගෙන් අයකරන මිළ ඉහල දැමීමට තවත් එක් හේතුවක් සේ ජනතා විමුක්ති පෙරමුණ හඳුනාගෙන ඇත්තේ රජයේ වියදම්.

එහිදී ආණ්ඩුව අකාර්යක්ෂම භාවයක් දක්වා ඇතිවා සේම වියදම් නාස්තිකාර ද වන බවටයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් චෝදනා කරන්නේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.