සමලිංගික තහනම 'යල් පැනගිය බ්‍රිතාන්‍ය නීතියක්'

අවසාන යාවත්කාලීන කිරීම :  2013 පෙබරවාරි 10 ඉරිදා - 11:56 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

සමලිංගික සම්බන්ධතා සාපරාධී ක්‍රියාවක් ලෙසින් විග්‍රහ කරන වත්මන් ලාංකීය නීතිය අධිරාජ්‍යවාදී යුගයේදී බ්‍රිතාන්‍ය පාලකයන් විසින් සම්පාදනය කරන ලද්දක් බව මානව හිමිකම් ක්‍රියාධරයෝ පෙන්වා දෙති.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

සමලිංගික සම්බන්ධතා "ස්වභාවික නොවන ලිංගික හැසිරීමක්" සහ සාපරාධී ක්‍රියාවක් ලෙසින් විග්‍රහ කරන වත්මන් ලාංකීය නීතිය අධිරාජ්‍යවාදී යුගයේදී බ්‍රිතාන්‍ය පාලකයන් විසින් සම්පාදනය කරන ලද්දක් බව මානව හිමිකම් ක්‍රියාධරයෝ පෙන්වා දෙති.

එම "යල් පැන ගිය" නීතිය සම්පාදනය කළ බ්‍රිතාන්‍යය, සමලිංගික විවාහය නීතිගත කිරීමට පවා කටයුතු කරද්දී ශ්‍රී ලංකාව තවමත් සමලිංගික සම්බන්ධතා තහනම් කිරීම සඳහා අධිරාජ්‍යවාදීන් ගේ නීතියක් යොදා ගනිමින් සිටින බව ද ඔවුහු පවසති.

Gay marriage cake

'හැමෝටම එක සේ සැලකෙන නීතියක් සහ කාන්තාවන් සහ දරුවන් ආරක්ෂා වෙන නීති තවත් සම්පාදනය විය යුතුයි කියන එකයි අපේ පරමාර්ථය'

ශ්‍රී ලංකාවේ සමලිංගික අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන ඊක්වල් ග්‍රවුන්ඩ් (Equal Ground ) ආයතනය ඒ බව පෙන්වා දෙන්නේ සමලිංගික විවාහය නීතිගත කිරීමේ යෝජනාවකටපසුගියදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ අනුමැතිය පලවීම පිළිබඳව අදහස් දක්වමින්.

"ඒ වගේම ලාංකීය ජන සමාජයත් මේක බොහෝ දුරට විකෘති තත්ත්වයක් හැටියට හඳුන්වනවා," ඊක්වල් ග්‍රවුන්ඩ් ආයතනයේ ක්ෂේත්‍ර නිලධාරිනියක සහ උපදේශකවරියක වන බූමි ද සිල්වා බීබීසී සංදේශයට කියා සිටියාය.

බ්‍රිතාන්‍ය ඇතුළු බටහිරින් ලැබෙන ඕනෑම "අයහපත් දෙයක්" දෑතින්ම පිළිගන්නා ලාංකීය සමාජය සමලිංගික සම්බ්නධතා නීතිගත කිරීම වැනි මාන අයිතිවාසිකම් ක්ෂේත්‍රය හා බැඳුනු ප්‍රගතිශීලී පියවර "සුද්දන්ගේ දේවල්" ලෙසින් බැහැර කරන බව ඇය පෙන්වා දෙන්නීය.

'සුද්දන්ගේ දේවල්'

කෙසේ නමුත්, සමලිංගික සම්බන්ධතා මෙන්ම සමලිංගික විවාහ ද ශ්‍රී ලංකාවේ මෙන්ම වඩාත් ලිබරල් සමාජයන් සේ සැලකෙන බටහිර රටවල ද ප්‍රබල මතභේදයන්ට තුඩු දෙන මාතෘකාවන්.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේත් ආණ්ඩු පක්ෂයේ මෙන්ම විරුද්ධ පක්ෂයේ ද බහුතර මන්ත්‍රීවරුන් පනතට පක්ෂව ඡන්දය භාවිත කළ නමුත්, පාලක කොන්සර්වේටිව් පක්ෂයේ මන්ත්‍රීවරුන් බහුතරයක් එයට විරුද්ධව ඡන්දය දී තිබූ අතර, ඇමතිවරුන් ඇතුළු තවත් පිරිසක් ඡන්දය දීමෙන් වැලකී සිටියහ.

Demo in Paris against Gay marriage

සමලිංගික සම්බන්ධතා ශ්‍රී ලංකාවේ මෙන්ම වඩාත් ලිබරල් සමාජයන් සේ සැලකෙන බටහිර රටවල ද ප්‍රබල මතභේදයන්ට තුඩු දෙන මාතෘකාවන්

ශ්‍රී ලංකාවේදී සමලිංගික අයිතිවාසිකම් දිනා ගැනීම උදෙසා තමන් ගෙන යන සටනට බොහෝ බාධාවන්ට මුහුණදීමට සිදු වී තිබෙන අතර, ඇතැම් විට දේශපාලන නායකයන් සමඟ සාකච්ඡාවක් ලබා ගැනීම පවා ඉතා දුෂ්කර බව ද බූමි ද සිල්වා පවසන්නීය.

"අපි සමලිංගිකත්වය ප්‍රචාරය කරනවා, සංස්කෘතිය විනාශ කරනවා, අපි මානසික විකෘතියෙන් පෙලෙන මිනිසුන් ඔය වගේ නොයෙකුත් අපිට අපහාසයන් එනවා. මේ සමලිංගිකත්වය කියන එක ඈත අතීතයේ ඉඳන්ම පැවත ගෙන ආපු දෙයක්, රජ කාලේ පවා ඒක තිබුනා," යනුවෙන් ද ඇය පවසන්නීය.

තමන්ගේ මේ ප්‍රයත්නය හුදෙක් සමලිංගිකයන් පිළිබඳව පමණක් නොව කාන්තාවන් සහ දරුවන් ඇතුළු ලාංකීය සමාජයේ නොසලකා හැරීමට ලක් වී සිටින සියලු ජන කොටස්වල අයිතිවාසිකම් පිළිබඳව පවා යොමු වූවක් බව ද ඊක්වල් ග්‍රවුන්ඩ් සංවිධානය අවධාරණය කරයි.

"අපේ පරමාර්ථය ඉහල පෙලේ පුද්ගලයන්ගේ වාසියට සහ දුර්වල පුද්ගලයන්ගේ අවාසියට හේතුවන නීතීන් දුර්වල කොටස් ආරක්ෂා කිරීම සඳහා තවත් ශක්තිමත් වෙන්න ඕනේ. මේ හැමෝටම එක සේ සැලකෙන නීතියක් සහ කාන්තාවන් සහ දරුවන් ආරක්ෂා වෙන නීති තවත් සම්පාදනය විය යුතුයි කියන එකයි අපේ පරමාර්ථය, " යනුවෙන් ද බූමි ද සිල්වා සඳහන් කළාය.

සමලිංගික විවාහයට බ්‍රිතාන්‍යයේත් ගතානුගතිකවාදීන් තවමත් දැඩි විරෝධය පළ කරන නමුත්, සමාජයේ කොටසකට විවාහ වීමේ අයිතිය අහිමි කිරීම වරදක් බවයි, අගමැති ඩේවිඩ් කැමරන් කියා සිටියේ.

"මම විවාහය කියන එක දැඩිව විශ්වාස කරන කෙනෙක්. යුවලකට එකිනෙකා වෙනුවෙන් කැපවෙන්න ඒක උපකාර වෙනවා. සමලිංගික ජනතාවටත් විවාහ වෙන්න අපි අවසර දිය යුත්තේ ඒ නිසයි," ඔහු පැවසීය.

බ්‍රිතාන්‍යයේදී විවාහයට තිබෙන තහංචි ඉවත් කෙරුණත්, සමලිංගික සේවනය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ පතන්නන්ට තවමත් බොහෝ නොසලකා හැරීම් වලට මුහුණ දීමට සිදුවී තිබෙන බව සමලිංගික, ද්වි ලිංගික සහ ලිංග විපර්යාසිකයන්ගේ අයිතිවාසිකම් පිලිබඳ LGBTQ සංවිධානය මේ අතර ප්‍රකාශ කරයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.